|| Blood Doping ||

අළුත් ආණ්ඩුවේ ප්‍රතිපත්තියක් විදියට, කොරෝනා වසංගතය නිසා ගෙවල් වලට වෙලා ඉන්න විශ්වවිද්‍යාල ළමයින්ට internet එකෙන් lectures කරන්න කියලා උපදෙස් ලැබිලා දැන් ටික දවසක්. රජයට අවනත වෙච්ච අපේ lecturers ලා ටික, time table එකක් වෙනමම හදලා ඒ විදියට උගන්වන්න පටන් අරගෙනත් හෙටට(10) සති දෙකක්. උගන්නපු lecture එකක් බලමින් ඉන්න අතරේ, ගොඩාක් දෙනෙක් තවමත් අඩුවෙන් දන්න, හරි අපූරු, හැබැයි අනතුරුදායක දෙයක් ගැන විස්තර ටිකක් කියන්න හිතුනා. විද්‍යාවේ සියුම් තැන් මිනිස්සු වැරදියට යොදාගන්න විදිය ගැන තමයි මේකෙන් කියවෙන්නේ.
..........
Lecture එක Haematology. එහෙමත් නැත්තං "රක්තවේදය". වෛද්‍ය විද්‍යාවේ රුධිරය සහ ඒ ආශ්‍රිත රෝග ගැන උගන්වන ක්ෂේත්‍රය. ඔයාලා හැමෝම ලෙඩ හැදුනම ගන්න blood report වල අවසන් නිගමනය දෙන්නේ රක්තවේද විශේෂඥ වෛද්‍යවරයා (Consultant Haematologist). රක්තවේදයේ එන ප්‍රධානම කොටසක් තමයි Red Blood Cell එක, එහෙමත් නැත්නම් "රතු රුධිර සෛලය". මේක ගැන අකුරක් නෑර දැනගන්න ඕනේ හැමෝම. ඉතින් ඔන්න ඔය lecture එක අස්සේ තිබ්බා හරි අපූරු කතාවක්. හැමෝම අහලා ඇති Doping ගැන. Doping කියන්නේ "තහනම් උත්තේජක භාවිතය". ඒ තමයි කිසියම් ක්‍රීඩකයෙක් හෝ ක්‍රීඩිකාවක්, තමන්ගේ ක්‍රීඩා තරඟයේදී perform කිරීමේ ධාරිතාවය අසාමාන්‍ය ලෙස වැඩි කරගන්න භාවිතා කරන, නීතියෙන් තහනම් වූ ස්වාභාවික හෝ කෘතිම ද්‍රව්‍ය. මේවා භාවිතා කිරීමෙන් ශරීරයේ මාංශ පේශි වෙහෙස (cramp) නොවී වැඩි කාලයක් තියාගන්න පුළුවන්. ඒ නිසා ඔවුන්ට අනිත් සාමාන්‍ය ක්‍රීඩකයන්ට වඩා වැඩි වෙලාවක් තමන්ගේ ක්‍රීඩා ඉසව්වේ වෙහෙස නොවී යෙදෙන්නත්, ඒ මඟින් අමතර වාසියක් ලබාගෙන තරඟයක ජයග්‍රහණය ලබන්නත් පුළුවන් කම ලැබෙනවා. මේක ඉතින් අපි හැමෝම දන්න කාරණයක්. එක එක ක්‍රීඩකයෝ විවිධ ද්‍රව්‍ය අරගෙන තරඟ තහනම් ලබනවා ඔයාලා හැමෝම දැකලා අහලා ඇති. හැබැයි ඔයාලා කවුරුත් හිතුවද අපේ ඇඟේ දුවන මේ "රතු රුධිරාණු" කියන්නෙත් තහනම් උත්තේජකයක් කියලා?
..........
මේකට අපි කියන්නේ "Blood Doping" කියලා. Doping වෙනුවෙන් තමන්ගේ හෝ අනුන්ගේ රතු රුධිර සෛල හරි රතු රුධිර සෛල නිපදවන කෘතිමව සැකසූ හෝර්මෝන හරි භාවිතා කිරීම තමයි Blood Doping කියන්නේ. ක්‍රීඩා ඉසව්වක සිද්ධ වෙන අධික ශක්තිය නිපදවීමෙදි අපේ මාංශ පේශි වලට ඉතාමත් ඉහළ ප්‍රමාණයන්ගෙන් ඔක්සිජන් අවශ්‍ය වෙනවා. මේ ඉල්ලුම සපයන්නේ අපේ හෘදය වස්තුව විනාඩියකට එළියට යවන රුධිර ප්‍රමාණයත්(1), රුධිරය වෙත ශරීරයේ ඇති ඔක්සිජන් අණු බැඳගන්නා ශක්‍යතාවයත්(2), රුධිරයේ ඇති හිමොග්ලොබින් ස්කන්ධයත්(3) මත. උපරිම ශක්තියක් ක්‍රීඩකයා යොදන අවස්ථාවේදී  1යි 2යි කියන සාධක ශරීරය විසින්ම උපරිම අගයකට ගේනවා. ඒවා අපිට පිටින් වෙනස් කරන්න බැරි සාධක. 3 විතරයි පිටින් වෙනස් කරන්න පුළුවන් එකම සාධකය. හිමොග්ලොබින් කියන්නේ අපේ රතු රුධිර හරහා සෑම පටකයකටම ඔක්සිජන් අරගෙන යන ප්‍රෝටීනය. හිමොග්ලොබින් වල ස්කන්ධය ඉබේම වැඩි වෙනවා පිටින් වැඩිපුර රතු රුධිරාණු හරි රතු රුධිරාණු නිපදවන හෝමෝන හරි inject කළොත්. ඉතින් ඔන්න ඔය කියන ජීව විද්‍යාත්මක සාධකය තමයි මේ ක්‍රීඩකයෝ පාවිච්චි කරන්නේ. ඒ වැඩේ කරන්නේ මෙන්න මෙහෙමයි.
..........
රතු රුධිරාණු inject කරගන්න කෙනෙක්, මුලින්ම අදාළ තරඟයට සති කීපයක් තියලා තමන්ගේ/වෙන කෙනෙකුගේ ඇඟේ තියන blood වලින් units 1ත් 4ත් අතර ප්‍රමාණයක් (1 unit = 450ml) withdraw කරලා අරගෙන, centrifugation කියන විද්‍යාගාර ක්‍රමයෙන් ඒවල රතු රුධිරාණු වෙන් කරලා අරගන්නවා. ඊට පස්සේ සෙල්සියස් අංශක 4 උෂ්ණත්වයේ ආරක්ෂිතව ගබඩා කරලා තියාගෙන, තරඟයට දවස් 7ක් පමණ තියලා යකඩ supplements එක්ක ආපහු ඇඟට inject කරගන්නවා. කෘතිම හෝමෝන ආදිය inject කරගන්න කෙනෙක් අදාළ හෝමෝනය තරඟයට දවස් 7ක් පමණ තියලා අරගෙන inject කරගන්නවා. වැඩිපුරම මේ විදියට ගන්න හෝමෝනය තමයි Erythropoietin (එරිත්රෝ-පොයෙටින්) කියන්නේ. ඒක අපේ ශරීරයේ තියන ප්‍රධානම රතු රුධිරාණු නිපදවන හෝමෝනය. නිපදවෙන්නේ වකුගඩු වලින්. ජීවී සෛල වලින් extract කරලා කෘතිමව පිටතදී හදන erythropoietin තමයි මේ විදියට පාවිච්චි වෙන්නේ. දැන් blood doping වලට use කළාට, මේක originally හැදුවේ වකුගඩු අක්‍රිය වුණු / විකිරණ චිකිත්සාව නිසා ඇට මිදුළු හානි වුණු රෝගීන්ගේ රක්තහීනතාවයට (Anaemia) ප්‍රතිකාරයක් විදියට. හැබැයි මේ විදියට හොර කරලා ක්‍රීඩකයින්ට බේරිලා ඉන්න බෑ. Blood doping detect කරගන්න අද වෙද්දි ඕනේ තරම් පරීක්ෂණ ක්‍රම භාවිතයට ඇවිල්ලා. 2004 දී මුලින්ම හඳුන්වලා දුන්න Flow Cytometry කියන පරීක්ෂණයෙන්, වෙනත් කෙනෙක්ගෙන් inject කරගත්තු රතු රුධිරාණු සොයාගන්න පුළුවන්. Carbon Monoxide Rebreathing Technique කියන ක්‍රමයෙන්, තමන්ගේම රතු රුධිරාණු inject කරගෙනද කියලා බලන්න පුළුවන්. ඒ වගේම රුධිරයේ තියන erythropoietin ප්‍රමාණය measure කරලා, පිටින් inject කරලාද නැද්ද කියලත් බලන්න පුළුවන්. මීට අමතරව තවත් tests කීපයක්ම තියනවා. ලිපිය දිග වැඩි වෙන නිසා ඒවා මම කියන්නේ නෑ. කැමති කෙනෙක්ට අන්තර්ජාලයෙන් "blood doping detection tests" කියලා search කරලා බලන්න පුළුවන්.
............
Blood doping නිසා තමන්ගේ මුළු ක්‍රීඩා ජීවිතයක්ම අහිමි කරගත්ත ක්‍රීඩක ක්‍රීඩිකාවෝ ගොඩාක් ඉන්නවා. ඒ අතරින් ජනප්‍රියම කෙනා තමයි ප්‍රංශ පාපැදි සවාරිය පිට පිට 7 වතාවක් දිනපු ඇමෙරිකාවේ "ලාන්ස් ආම්ස්ට්‍රෝන්ග්". ඔහු blood doping ඇතුළු තවත් තහනම් උත්තේජක රාශියක් භාවිතා කිරීම නිසා ජීවිතාන්තය දක්වා ක්‍රීඩා තහනමකට ලක්වුණා වගේම ප්‍රංශ පාපැදි කිරුළු 7ම අහිමි වුණා. මීට අමතරව, ඉතිහාසයේ වාර්තා වුණ පළමු blood doping චෝදනාවට ලක්වූ ක්‍රීඩකයා වෙන්නේ පින්ලන්තයේ "කාලෝ මානින්කා". ඒ 1980 මොස්කව් වල පැවති ඔලිම්පික් උළෙලේදී. හැබැයි ඒ කාලේ නීති අනුව මේක තහනම් උත්තේජකයක් වෙලා තිබ්බේ නෑ. 1985 දී තමයි ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව විසින් නිල වශයෙන් blood doping, තහනම් උත්තේජකයක් ලෙස නම් කරේ. එහෙනං, මේක තමා blood doping වල කතාන්දරේ. වැඩි විස්තර හොයාගත්තේ internet එකෙන්. Interesting දෙයක් හැමෝටම දෙන්න පුළුවන් වුණා කියලා හිතනවා. එහෙමයි කියලා ඔය දුවන පනින උදවිය මේක පාවිච්චි කරනවා එහෙම නෙවෙයි ඔන්න.

- යශෝද් රාජසිංහ -
වෛද්‍ය පීඨය

Comments

Most Popular Diary Entree

|| අප්‍රේල් 21 - 365 ට පෙරවදනක් ||

|| A Badly Miss - Not for One, but for All ||