|| අප්‍රේල් 21 - 365 ට පෙරවදනක් ||

වෙනදාට අප්‍රේල් මාසය මෙසේ නොවේ. වසරේ ප්‍රීතිමත්ම මාසය ලෙස වෙනදා අපි හැඳින්වුයේ අප්‍රේල් මාසය යි. වසන්තය රැගෙන එන මාසය වූ අප්‍රේල්, මෙතරම් ඉක්මනින් වසන්තය යළි රැගෙන යතැයි කිසිවෙක් සිතුවේ නැත. එහෙත් ඒ සියල්ල සිදුවී හමාරය. මේ සටහන ඒ මතක ස්මරණය නොකරමින් ස්මරණය කරන්නට ය.
........
වසර 30ක කුරිරු යුද්ධය නිමාවීමත් සමඟ බෝම්බයක් පිපිරුණු හඬක් දෙවුන්දර තුඩුවේ සිට පේදුරු තුඩුව දක්වා ඇසුණේ නැත. යළි පිබිදුණු රටක්, නැවුම් බලාපොරොත්තු ගොන්නක් ඔස්සේ නැගිටින්නට ප්‍රයත්න දරමින් සිටියේ ය. එහෙත් ගතවූයේ වසර 10ක් පමණි. මුළු රටටම යළිත් ඒ අමිහිරි පිපිරුම් හඬට සවන් දීමට සිදුවිය. තවත් පිරිසකට, තමන් ජීවිතයේ කිසිදා අත්නොවිඳි අත්දැකීමක් සමඟ අසරණ වූ ඉරණමකට ගොදුරු වන්නට සිදුවිය. ඉස්ලාම් අන්තවාදී ත්‍රස්ත කල්ලියක් විසින්, රටේ ප්‍රධානතම කතෝලික දේවස්ථාන 3ක් සහ ප්‍රමුඛ පෙළේ සංචාරක
හෝටල් 4ක් ඉලක්ක කරගෙන එල්ල කළ ඒ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය, අප්‍රේල් 21 දිනය යළි කිසිදා මෙරට මෙන්ම ලෝකවාසී පුරවැසියෙකුට අමතක නොවන දිනයක් බවට පත් කළේ ය. ජේසුස් වහන්සේ මළවුන්ගෙන් නැඟිටීම සිහිපත් කෙරෙන ඒ උතුම් පාස්කු ඉරිදා දිනය, ලේ කඳුළු ගංගාවක් මහපොළොව මත ගලා බස්වන්නට සමත් වූ අතිශය භයංකාර දිනයක් බවට පෙරලුනේ කෙසේදැයි යන්න අදටත් සැමට ප්‍රශ්නාර්ථයකි. සිදුවීම ගැන මින් එහා යමක් නොකියමි. සැබවින්ම එය අමතක කළ යුතුම, එහෙත් අමතක නොකළ යුතුම සිදුවීමකි.
..........
උක්ත සිදුවීමට දින 365ක් පිරෙන්නට යන මේ මොහොත ද අතිශය දුක්ඛිතය. ගෙවුණු අප්‍රේල් කාලයේ අඳුරු මතකයන්ගේ අළු අතරින් නැගිටින්නට හිත් සකසාගෙන සිටි ජාතියක්, තවත් උවදුරක් හේතුවෙන් මීළඟ අප්‍රේල් කාලයත් අහිමි කරගත් ජාතියක් බවට පත් විය. පිට පිට දෙවන වතාවටත් වසන්තය රහිත අප්‍රේල් කාලයක් ගෙවෙමින් පවතී. "ගෙවෙන" අප්‍රේල් මොහොතකට අමතක කරමි. "ගෙවුණු" අප්‍රේල් වල මතක සමඟ ජීවත් වන අපේම රටේ පිරිසක් තවමත් අප අතර ඇත. මොහොතක පමාවෙන් ජීවිතය බේරුණු අය, තමන්ට අහිමි වූ ආදරණීයයන් ස්මරණය කරමින් තවමත් කඳුළු සලමින් සිටියි. අතිශය දරුණු, කිසිදා සත්‍ය නොවන, ආගමික අන්තවාදී විශ්වාස උදෙසා මනුෂ්‍යත්වයේ නාමය පාවා දුන් පාපයට, ඒ කඳුළු කතා තුළ ගැබ්ව ඇති අසරණකම ද මුසුවී, වසරක් නොව වසර දස දහස් ගණනකටම යළි මිනිස් ආත්මයක් ලබන්නට ඒ පාපතරයන්ට හැකියාවක් නොලැබෙනු ඇත. බුදුදහමට අනුව, ඔවුන් සතර අපායේ ආත්ම ගණන් ඒ පාපය වෙනුවෙන් ඉපදෙමින් මැරෙමින් කර්මය ගෙවනු ඇත. එහෙත්, දැන් සියල්ල සිදුවී අපි බොහෝ දුර ගොස් ඇත්තෙමු. අහිමි වූ අපේම අය වෙනුවෙන් දැන් ඉතිරි වී ඇත්තේ, ජාති ආගම් බේද පසෙකලා අපගේ සිත් තුළ ඇති උතුම් මනුෂ්‍යත්වයේ මල්දම් පැළඳවීම පමණි.
..........
අතිඋතුම් කාදිනල් තුමාගේ ඒ උතුම් ඉල්ලීම පල්ලියේ හෝ පන්සලේ හෝ කෝවිලේ හෝ ඝණ්ටා සීනු නාදයට පමණක් අපි හෙට සීමා නොකරමු. මනුෂ්‍යත්වය හඳුනන ලස්සන හදවත් ඇති ජාතියක් ලෙස, සෑම නිවසකම හා සෑම ආයතනයකම උදෑසන 8.40ට "ස්මරණයේ පහන් සිලක්" දල්වමු. අපෙන් වෙන් කළ අපේම අය, නැවතත් අපි අතරම වරක් හෝ ඉපදේවා කියා පතමු. අවසන් හුස්ම මුහු කරන්නට පෙර, තමන්ගේ අය වෙනුවෙන් කියන්නට තිබූ ඒ සොඳුරු වදන්, සිතන්නට තිබූ ඒ සොඳුරු සිතුම්, ගෙවන්නට තිබූ ඒ සොඳුරු නිමේෂයන්, පුරවන්නට තිබූ ඒ අහිංසක පැතුම්, තවත් එක් වරක් හෝ ඔවුනට සැබෑවක් කරගන්නට ලැබේවා යි පතමු. එන්න, අපි හෙට "ශ්‍රී ලාංකිකයන්" වෙමු!

- යශෝද් රාජසිංහ -
වෛද්‍ය පීඨය

Comments

Most Popular Diary Entree

|| A Badly Miss - Not for One, but for All ||