දිවඔසු ගුණ පිරි දියබත



Your Guide To Staying Emotionally Strong During The 21-Day ...
2020 කැලැන්ඩරය අතට ආපු ගමන්ම මේ අවුරුද්දේ නම් නිවාඩු ටිකක් වැඩිපුර තියෙනව කියලා ගොඩක් දෙනෙක් සතුටු වුණත් ඒ වෙලාවෙ නිකමටවත් හිතුවද මේ වගේ කැලැන්ඩරේවත් නොතිබුණු දිගම දිග නිවාඩුවක් ලැබෙයි කියල.?
මේ නිවාඩුවට හේතු වෙන්නෙ පුංචිම පුංචි ඇහැටත් නොපෙනෙන කෙනෙක්. ඒ තමයි කොවිඩ්-19 නැත්නම් නව කොරෝනා වෛරසය. ඒ ගැන අටුවා ටීකා ලියන්නට අවශ්‍ය නැහැ. මොකද දැන් මේ වෙලාවෙ කළ නොකළ යුත්ත පිළිබඳ අපි දැන් හොදටම දැනුවත්. දැන් තියෙන්නෙ ඒ හැමදෙයක්ම අකුරටම පිළිපදින එක විතරයි.


මිනිස් ක්‍රියාකාරකම් නිසා හෙම්බත් වෙලා හිටපු පරිසරයත් අපි හැමෝවම කූඩු කරලා බලෙන්ම නිවාඩුවක් අරන් වගෙයි. දැන් දැන් යථා තත්ත්වයට පත්වන සොබාදහම ඒකට එක ඉගියක්. ඒ කොහොම වෙතත් ධනාත්මකව හිතනවානම් ඕනෑම වසංගතයක් වුණත් වසන්තයක් බවට පත් කරගන්න එක එතරම් අපහසු දෙයක් නෙවෙයි කියල 11 වසරෙදි සිංහල උගන්වපු ගුණසිංහ සර් කියපු හැටි මට තාමත් මතකයි. ඉමක් කොණක් නැති ඉලක්ක පසුපස අවිවේකීව හඹා ගිය අපිට හුස්ම ගන්න අවකාශයක් ලැබිලා. ජීවිතයේ හැම පැතිකඩක්ම අපි හිතපු නැති විදියට මේ ටික දවසෙදි වෙනස් වුණා නේද? ආහාර රටාව කෑම,බීම වර්ග සියල්ලම වගේ. කිරිපිටි වීදුරුව වෙනුවට අද මුළුතැන්ගෙයි රජ කරන්නෙ කොත්තමල්ලි, වෙනිවැල්ගැට වගේ ඖෂධීය පාන වර්ග. නොදැනම වුණත් අපි මේ ආපහු යන්නෙ අපිට අමතක වුණ අපෙන් ගිලිහුණ අපේකම හොයාගෙන නේද කියල මේ ටික දවසට හිතුණ වාර නම් අනන්තයි.
මේ දවස්වල කෑම බීම අනිසි පරිභෝජනය වගේම අපතේ යාමත් දෙකම අවම කරගන්න එක නම් මුළු ලෝකයම අනාගත ආහාර අර්බුදයකට මුහුණ පෑමේ අවදානමකින් පෙළෙන මේ වගේ කාලයක අපි හැමෝගෙම සමාජ වගකීමක්.
අපේ මුතුන්මිත්තන් ආහාර කළමනාකරණයේ නිපුණයන් කීවොත් ඒකෙ වරදක් නැහැ. ආහාර වේලකින් පස්සෙ ඉතිරි වෙන ටික වුණත් නාස්ති නොකරන තැනට අපේ මුතුන්මිත්තන් වගබලා ගත් ආකාරය ගැන අපි අසා තිබෙනවා.හරියට ලුණුදෙහි, අටුකොස්, මාළු ජාඩි වගේ. රාත්‍රී ආහාරයෙන් පසු ඉතිරිවන බත් මගින් සාදා ගන්න ඖෂධීය ගුණයෙන් අනූන සම්ප්‍රදායික ආහාරයක් වුණ දියබත කියන්නෙත් ඒ වගේම උදාහරණයක්. අද මම කොරෝනා දිනපොතේ මගේ අවකාශය මේ දිවඔසුව වෙනුවෙන් වෙන් කරන්න කල්පනා කළා.
අත්තම්මාගේ අත්බෙහෙත්: අත්තම්මාගේ ...

සමහරවිට ඔබ දියබත ගැන අහලා ඇති. ඒ වගේම එහි මිහිරි රසය විදලත් ඇති. ඒත් ඇතැම් කෙනෙක් දියබත ගැන අහලා නැති වෙන්න වුණත් පුලුවන්. ඒ කොහොම වුණත් මේ ආහාරය හදාගන්න එක කැවුම්, ආස්මී හදනවා වගේ අමාරු දෙයක් නෙමෙයි. හරිම ලේසියි.
මුලින්ම රාත්‍රී ආහාරයෙන් පස්සෙ මැටි මුට්ටිය තුළ ඉතිරිවන බත් ප්‍රමාණය යන්තම් වැසී යන මට්ටමට පිරිසිදු ජලය එකතු කර වසා තබනවා. පසුදින උදෑසන වන විට එම ජලය බත් වලට අවශෝෂණය වී තිබෙන අතර අතිරික්ත ප්‍රමාණයක් තිබේනම් ඉවත් කරගත හැකියි. අනතුරුව බත් මුට්ටිය තුළටම උකු පොල්කිරි, සිහින්ව ලියාගත් රතුළූනු , අමුමිරිස් , දෙහි යුෂ සහ ලුණු දමා හොදට මිශ්‍ර කිරීමෙන් පසු දියබත පිළියෙළ කිරීම අවසන් වෙනවා.
අපේ අත්තම්මා නම් දියබත තවත් රසගන්වන්නට උම්බලකඩ කුඩු ස්වල්පයක් එකතු කරන්නත් නම් අමතක කරන්නෙ නෑ.
ප්‍රතිශක්තිය , පෝෂණය වගේම බෝ නොවන රෝග ගැන නිරන්තරයෙන් වදවෙන මේ කාලෙ දියබත කියන්නෙ ඒ හැමදේටම සරල විසදුමක් කියලයි අත්තම්මා නම්.කියන්නෙ. ඉවුම් පිහුම් වලට ඇති දක්ෂතාවය වගේම තමන් උයන පිහන දේ ගැන ඇයට තිබෙන්නේ පුළුල් දැනුම් සම්භාරයක්. නිරන්තරයෙන් අපේ පෝෂණය හා නිරෝගීකම ගැන හිතන ඇය මේ දිනවල උදෑසනට දියබත පිළියෙළ කරන්න දක්වන්නේ නම් වෙනදාටත් වඩා උනන්දුවක්.

ඇත්තටම අත්තම්මා දියබත ගැන කියන මේ කතාවෙ විද්‍යාත්මක ඇත්ත හොයලා බලන්න මට ආපු කුතුහලය නිසාම මුහුණුපොතේ කාලය ගතනොකර අන්තර්ජාලය පිරික්සන්න පටන් ගත්තු මට ආයුර්වේද වෛද්‍ය විද්‍යාත්මකව වැදගත් වන කරුණු රැසක්ම හොයා ගන්න පුලුවන් වුණා. ඒ දේවල් අමතක නොකර තියා ගන්න ඕන නිසාම දිනපොතට එකතු කරන්න මම හිතුවා.

ශරීරය සිසිල් කිරීමේ ගුණයෙන් අනූන දියබත කියන්නේ සැරට පායන උණුසුම අධික කාලවලදී මහගු ඖෂධයක්. එවැනි කාලවලදී තොල් සහ දිව පැලීයාම, චර්ම ආසාදන සහ ඇස් රෝග ඇතිවීම වැළැක්වීමට දියබත සමත්කම් දක්වනවා.
සිසිලන ගුණය නිසාම සෙම්රෝග බහුල කාලවලදී හෝ වර්ෂා කාලයන්හීදී දියබත් ආහාරය එතරම් සුදුසු වන්නේ නම් නැහැ.

බත් කියන්නෙ අපි කවුරුත් හොදින්ම දන්නා හොද කාබෝහයිඩ්‍රේට් ප්‍රභවයක්. දියබත සෑදීමට යොදාගන්නා හීල් බත ජීරණය වන්නේ සාපේක්ෂව සෙමින්. එමනිසා ප්‍රධාන ආහාරයක් වශයෙන් ආහාරයට ගත හැකි දියබත මගින් වක්‍රව ප්‍රධාන ආහාර වේල් අතර අප ගන්නා අමතර ආහාර ප්‍රමාණයද සීමා කරවනවා. මෙය දීර්ඝකාලීන කායික යහපැවැත්ම තහවුරු කරන්නටත් හේතුකාරක වෙනවා.

උදරයේ ආම්ලිකතාවය හෝ ගැස්ට්‍රයිටිස් තත්වයන් වලින් මිදීම සදහා දියබත උපකාරී වෙන්නෙ කොහොමද කියල අපි දැන් බලමු. දියබත මගින් උදරයේ අම්ල භෂ්ම සමතුලිතතාවය නැවත ඇතිකෙරෙනවා.මේකට හේතු වෙන්නෙ දියබතෙහි අඩංගු පොල් කිරිවල ඇති භාෂ්මිකතාවයයි.

ඒ වගේම කලින් කියපු විදියට දියබතට එකතු කරන තවත් අමුද්‍රව්‍ය දෙකක් වන දෙහි යුෂ සහ රතුළූනු කියන්නෙ ආම්ලික ආහාර ද්විත්වයක්. ඉතින් දියබත ආහාරයට ගන්නා විටම අපේ දිවට ළාවට ඇඹුල් රසයක් දැනෙනවා.දිවට ඇතිවන මේ සංවේදනය නිසාම ආමාශය කල් තියාම අම්ල ස්‍රාවය සීමා කරමින් භාෂ්මිකරණයට සූදානම් වෙනවා. මෙන්න මේ විදියට තමයි අපේ පාරම්පරික දැනුම තුළ දියබත යොදාගෙන ගැස්ට්‍රයිටිස් ඇතිවීම පාලනය කළේ. ආහාරයම ඖෂධයක් කරගත් අපේ පැරැන්නන් රෝගයක් ඇතිවීමෙන් පසු පාලනයට වඩා රෝගය ඇතිවීම වළක්වා ගැනීමට සැමවිටම මුල් තැනක් ලබා දුන්නා.

එපමණක් නොව පොල්කිරි වල අඩංගු ලවණ බොහෝමයක් අධිරුධිර පීඩනය, මානසික ආතතිය පමණක් නොවෙයි විජලනය ඇතිවීම පවා වළක්වාලනවා.පොල් කිරිවල අඩංගු සංතෘප්ත මේද අම්ලයන් කොලෙස්ටරෝල් රෝගය පාලනයට මෙන්ම හදවත් රෝග ඇතිවීම වැළක්වීමටද සමත්කම් දක්වනවා. ඉතා වැදගත් ප්‍රතිඔක්සිකාරක රැසකින් හෙබි පොල්කිරි, දෙහි සහ රතුළූනු ශරීරයේ ඇති ධූලක ද්‍රව්‍ය ඉවත් කිරීමටද දායක වෙනවා. අප කවුරුත් හොදින්හදුනන විටමින් සී ප්‍රතිඔක්සිකාරකය ඉන් ප්‍රධානයි.
දෙහි රතුළූනු සහ අමුමිරිස් වලට ඇති ඛේට ග්‍රන්ථි උත්තේජනය කිරීමේ ඉහළ හැකියාව නිසා ආහාර රුචිය මෙන්ම ආහාර ජීර්ණ ක්‍රියාවලියේ කාර්යක්ෂමතාවයද දියබත මගින් ඉහළ නැංවෙනවා

දවස ප්‍රබෝධමත් කරන ශරීරය සිසිල් කරන්නට සමත් ඔසු ගුණ සපිරි දියබතේ සාර සොබාවයි ඒ . දියබතෙහි ගුණ මෙතෙකැයි කියා ලියා නිම කළ නොහැක. ඉන් ප්‍රධානතම කරුණු කීපයක් වෙනුවෙන් ලුහුඩින් හෝ දිනපොතේ ඉඩහසර වෙන්කරන්නට අදහස් කළේ එහි ඇති ඉවතලිය නොහැකි වටිනාකම් සමුදාය නිසාවෙන්මය.
මේවා හුදෙක්ම ආහාරයක පෝෂණය හා විද්‍යාත්මක කරුණු නොව අපේ පැරැන්නන්ගේ දියුණු ආහාර සංස්කෘතියේ අරුමය පිළිබිඹු කරන සාක්ෂීන්‍ ය. ඉතින් නිවසේ හැමෝම නිවෙස් වල එකතු වෙලා ඉන්න මේ කාලයේ අපේ පාරම්පරික ආහාර රටාවට හුරු වෙන්නත් හොද අවස්ථාවක් අපිට හිමි වෙලා තියෙනවා. එය පවුලේ පෝෂණය නිරෝගීකම වගේම සතුට සමගිය ගුණාත්මකව වැඩිදියුණු කරගන්නත් අලුත් මාර්ගයක් විවර කරනු නිසැකයි. මතකයිනෙ හරියට හිතුවොත් වසංගතයක් වුණත් වසන්තයක් බවට පත් කරගන්න අපිට පුලුවන්.
එසේනම් මගේ අද දිනසටහනට මෙතැනින් නැවතීමේ තිත තබනවා මේ ප්‍රාර්ථනාවත් එක්කම. හැමෝටම නිරෝගී හෙට දවසක්.

Ayubowan - Sri Lanka - Sticker | TeePublic


COMPILED BY :  H.H.PRADEEP NIMANTHA


( FACULTY OF AGRICULTURE , UNIVERSITY OF PERADENIYA)


Comments

Post a Comment

Most Popular Diary Entree

|| අප්‍රේල් 21 - 365 ට පෙරවදනක් ||

|| A Badly Miss - Not for One, but for All ||