බිලිවෙන මිනිස් ඇස සහ පුබුදින මොණර ඇස
තත්පර කිහිපයක් නිසොල්මන්ව කල්පනා කරත්ම, ලෝකයේ මරණ බියෙන් සැඟවුණ මිනිස් ඇස් සමූහයක් එක්
පසෙකිනුත් අනෙක් පසින් මිනිසුන්ගේ නිහැඬියාව හමුවේ ජීවයේ සුවය විඳගන්නා සත්වයින්
සමූහයකුත් මැවෙනු ඇත. සොබාදහමට සංවේදී නොවුන කාර්යබහුලත්වයෙන් හෙබි ජීවිත ගත
කළ විඩාබර මිනිසුන්හට දීර්ඝකාලීන නිවාඩුවක් සමග එක් තැනකට සීමාකරමින් සොබාදහම
උගන්වන පාඩමෙහි පිටු දිනෙන් දින පෙරළෙමින් ඇත. මෙතෙක් කාලයක් පැවති ලෝකයක් උඩු යටිකුරු කර වෙනත් මාවතකට
යොමු කළ ලෝක බලවතා නමින් “කොරෝනා වෛරසය” පහල වූ කාලයේ එක්
හෝරාවක් මෙසේ ගලා යනු ඇත.
මේවන විට ලෝකයේ බලවත් යැයි හඬ නැඟූ මිනිසුන් දණින් වැටී, ආයු කාලයක් යදිමින් සිටී. එසේ සිදුව ඇත්තේ මහා ශක්තිමත් යුධ අවි වලින් හෙබි අධිරාජ්‍යයක්
හමුවේ නොව, පියවි ඇසින් වත් දැකිය නොහැකි තරම් වූ, අන්වීක්ෂයට පවා හසුකර ගැනීමට අපහසුවන රෝගකාරකයක් හමුවේය. සොබාදහමට කෙනෙහිලිකම් කළ මිනිසුනි, පරිසර විනාශයට වන්දි ගෙවීමට සහ සොබාදහම රැකගැනීමට
අදිටන් කර ගැනීමට කාලය පැමිණ ඇත. පරිසර හානිය නොනවත්වන කල්හි සමස්ත මානව වර්ගයා නසාලනු
වස් මැවූ අපූර්වතමයා “කොරෝනා” විය හැකියි.

දින කිහිපයක් නිවෙස් වලට කොටු වූ බොහෝ දෙනා හට එක් තැනකට
කොටු වී ගතකරන ජීවිතයේ නීරස බව හැගෙනු ඇත. නමුත් අවුරුදු ගණනාවක් එක් තැනකට කොටුකර ආහාරපාන ලබා
දුන්නද ජීවිතයේ විදීමක් නොමැතිව සිරගතකළ සත්වයින් කොතෙකුත් ලොව පුරා ඇත්ද? එසේම විශාල වශයෙන් සිදුකරන තුරුලතා විනාශය හමුවේ තම
වාසස්ථාන ඉතා සීමාවූ බිම්කඩකට මායිම්ව ගතකරන සත්ව ජීවිතද ඔවුන්ට දැනෙනුයේද අප මේ
කෙටි කාලයක් තුල අත්විඳි ස්වභාවයම නොවේද? සොබාදහමෙහි තුලිතබාවය නැවත ළඟාකර දුන් බලවතා “කොරෝනා” වෛරසයයි. එය ආසාදනය වීම
සිදුවන්නේ ස්වසන මාර්ගය ආශ්රයෙනි. එය උගුරට (ග්‍රසනිකාව) ආසාදනයවත්ම ප්‍රධාන
පද්දති දෙකක් වන ආහාර මාර්ගය හා ස්වසන මාර්ගයේ අපහසුතා ඇතිවේ. ආහාර ගිල දැමීමට නොහැකි වීමත්, තවද සොබාදහමෙන් හුස්ම පොදක් ලබා ගැනීමට නොහැකිව විදින
වේදනාවට පත් කරමින් මිනිසුන් මරණය අබියසට ඇදගෙන යනු ඇත. මෙය මෙතරම් කාලයක් ගෙල සිර කරමින් මරණයට පත්කළ සත්වයින්
විඳි දුක්ඛිත තත්වයට සමාන තත්වයක් වේ.
එසේම තම ප්‍රියයන්ගෙන් දුරස්ථ ප්‍රදේශයකට ගොස් ජීවිතය
රැකුමට ඖෂධයක් ලබා ගනිමින් ආයුෂ අයැදීමටද සිදුවනු ඇත. අවසානයේ ජීවිතයෙන් සමුගැනීමට සිදුවුවහොත් ප්‍රියයන්
කිසිවෙකු නොදැක දුක්ඛිත ලෙස ජීවිතයට සමුදීමක්ද සිදුවේ. එය සොබාදහම විසින් මානව වර්ගයාට හිමිකරදී ඇත්තේ කිසිදු වර්ණ
භේදයකින් තොරව වේ. මෙය සමස්ථ මානව වර්ගයා, සත්වයින්ගේ අහිමි කරනු ලබන ජීවිත
වල, ඔවුන් ලබන දුක්ඛිත තත්වය සිහිගන්වනු ඇත.
මිනිසා හැර අනිකුත් සත්වයින් අත්විදින්නේ ඔවුන් ජීවිතයේ
ලබන වසත් සමය වේ. මන්ද, විදේශගතවීමට පවා තම රට තුළද ගමනාගමනයට අවසර නොලත්
මිනිසුන් ජනෙල් කූරු ගනිමින් තම නිවසට වී බලා සිටිත්ම සංචාරක පක්ෂීන් ඔවුන්ගේ නොවන
දේශ සීමා කරා පැමිණ හඬ නගනු ඇත. කොවුල් නාදය කිහිපවරක්ම කනවැකෙත්ම අප ගෙවූ ගියවසරේ
අවුරුදු වසන්තයේ මිහිරි මතකයන් සමග කඳුලුබිඳු දෙනෙතින් රූරා හැලෙනුයේ මෙවර වසන්ත
සමයේ සේයා බොඳකරමින්ය. මෙවර කොවුලන්ගේ හඬ මැද රතිඥ්ඥා හඬ නිහඬව ඇති බැවින්
මොණරුනි, පුබුදිමින් රැඟුම් රැඟුමට මෙවර වසන්තයේ අවසර ඇත.
මංමාවත් වසා දමා, දුම්රිය මාවත් වසා දමා, විෂ වායු පිටකර වේගයෙන් ඇදී ගිය රථ වාහන නවතා දමා ඇත. ඒවායේ තම සිත්සේ කිසිදු හිරිහැරයකින් තොරව ඇවිද යන වන
සත්තු නිදහසේ සුව අත්විඳිති. ඔවුන් ආහාර සොයා ඉදිරියට ඇදෙනුයේ තමාට අලුත් බිම්කඩක්
ලබාදුන් පරිද්දෙනි. තම නිවසින් පිටතට පය තැබුවහොත් මරණ සහතිකය අතැතිව නිවසට
ගොඩවීමට සිදුවන බැවින්, මිනිසුන් තම නිවසෙහිම වී මරණයේ බියෙන් කාලය ගතකරන්නේ දිනෙන් දින සිදුවන මරණ සංඛාව ලෝකය පුරා වැඩිවන බැවිනි. කෙසේ හෝ මෙම ව්‍යසනය අවසානයේ ලොවට ඉතිරි කරන්නේ
සොබාදහමින් බොහෝ පාඩම් උගත්, ප්‍රතිශක්තියෙන් හෙබි මානව සත්වයින්ගෙන් තෝරාගත් ප්රමාණයකි.
නිතැතින්ම ඉතිරිවන නුඹ, සොබාදහම රැකගැනීමට සහ යළි මෙවැනි ව්‍යසනයකට මානවයින් පත්
නොකිරීමට වග බලාගත යුතුවනු ඇත.
අමාලි මනීෂා පතිරණ
කෘෂිවිද්‍යා පීඨය
ධර්මය රකින්නා ධර්මය විසින්ම ආරක්ෂා කරන සේක්ද ස්වභාවධර්මය රකින්නා ස්වභාවධර්මය විසින් ආරක්ෂා කරනු ලබයි!එයයි අපි අවබෝධ කරගත යුතු පරම යථාර්තය!
ReplyDelete