නයිටිං-ජේල් (හෙදියකගේ දියණියක් )

 "අම්මේ අම්මේ කතාකරන්නකෝ"

ඊයේ පෙරේදා දිනක මාගේ මවට පැමිණි දුරකථන ඇමතුමකි. උදෑසනක. ඇය හෙද සොයුරියක්ය. රෝහල සටහන් නොකරමින් මා මේ සටහන තබනුයේ මෙහි දැක්වෙන ඇතැම් දේ හේතුවෙනි.

ඒ දුරකථන ඇමතුම ගත් සිගිත්තා වයස අවුරුදු එකහමාරක දෙකක පමණ වේ යැයි මව පැවසුවාය.

"පවු අනේ මගෙ නොම්බරේ තිබ්බ කාගෙ හරි ලමයෙක්ගෙ වෙන්නැති"

කුමක් පවසන්නද නොතේරුණු මා සිනාසුනා පමනි.

එක් දරුණු වසංගතයක්, කොරෝනා නොහොත්  COVID 19. ප්‍රවේශම් වීමට තිබූ කාලයේ ප්‍රවේශම් නොවී අද අප එය මාරකයක් බවට පත්කර ඇත.

මව සේවය කරන රෝහලද රජය විසින් කොරෝනා රෝගීන් හට වෙන්කල රෝහලක් ලෙස ප්‍රකාශ කරන ලදී. ඔවුනට සතියක් සේවය කොට හදිසි අවස්ථාවකදී නැවත සේවයට වාර්තා කරන ලෙස ඊලග සති දෙක නිවාඩු දෙනු ලැබේ.

මේ දින 14 නිවාඩුවද දැන් ඔවුන් නිරෝධායන මධ්‍යස්ථානයකට යොමු කරනු ලැබේ.

එය විශිෂ්ඨය. මෙම සේවය මෙලෙස සැපයිය යුතුය.සිංහලයන්ට අයිති මේ එකම හෙලබිම රැකගත යුතුය.

නමුදු ඒ නයිටිංගේල්වරු?

එක post එකක්, එක comment එකක්, ඔබගේ දෑස් වල ඇදෙන මොහොතක  දුක්බර බවක්; මේ නයිටිංගේල්වරු ගැන හදවතින්ම දුක් උනාද? සොයා තිබුනාද?

මේ හුවාදක්වන්නේ හුදෙක් බොරුවක්, වෙනත් නාට්‍යයකට අර ඇදීමක් වශයෙන් නොව, එක් සත්‍යයක් අවම වශයෙන් ඔබේ හදවතටවත් ඇතුලු කිරීමටයි.

වසංගත උණුසුම ආරම්භ වූ මුල් සමයේදී මව බස් රථයකින් රෝහලට ගමන් කරමින් සිටියාය.
එහි කොන්දොස්තරවරයා මුහුණු ආවරණයක් පැළැද සිටිනවා දුටු විට,

" ඕගොල්ලන්ට ඔයිටත් වඩා වැදගත් ග්ලවුස් දෙකක් දාගත්ත නම්.හැමවෙලේම සල්ලි අල්ලන නිසා" 

ඇය පැවසුවාය.

"ඒකතමයි මිස් දාගන්නෝනි"

"ඔයාලට ඒව දෙන්නෙ නැද්ද?"

"එහෙම නෑ මිස්. මිස් කොහෙද බැංකුවෙද වැඩ කරන්නෙ?"

" නෑ මන් nurse කෙනෙක්.ඉස්පිරිතාලෙ වැඩ කරන්නෙ"

 කොන්දොස්තරවරයා වහාම එතනින් ඉවත්ව පිටුපසට ගියේය.බහින තුරුම පැත්ත පලාතකටවත් නාවේය.

සමහරවිට මාගේ අම්මා ඔහුට පවසන්නට ඇත්තේ වරදක් වන දෙයක් වන්නට ඇත....

තවත් එක් හෙද සොයුරියක් මන් පෞද්ගලිකව දනිමි.ඇයට දරුවන් තිදෙනෙකි.කුඩාම දරුවා අවුරුදු දෙකක පමන වයසේ පසුවෙයි.

සුපුරුදු පරිදි රැකියාවට යාමට ඇය පසුදින තම දරුවා තබාගැනීමට ළදරු සුරැකුම් ආයතනයට ඇමතුමක් ගත්තාය.

"හෙලෝ මං මේ ......... කතාකරන්නෙ.පොඩි එක්කෙනාව හෙට උදේම ගෙනත් ඇරලවන්නම් මිස්"

"අහ් අනේ මිස් සොරි පොඩ්ඩක් ඉන්න මං අනිත් අම්මලගෙන් අහල කියන්නං" 

 ඒ ආයතනයේ ප්‍රධානී කාන්තාවගේ පිලිතුරයි. ඇය පොරොන්දු වූ ඒ "අම්මලගෙන් අහල කතාකරන්නම්" යැයි වූ දුරකථන ඇමතුම නැවත ලැබුනේ නම් නැත.

නමුත් මේ සොයුරිය අනිවාර්‍යයෙන් සේවයට යා යුතුය.මේ ඔවුන්ගේ සේවය අත්‍යවශ්‍ය කාලයයි.

මේ හුදෙක් සත්‍ය උදාහරණ දෙකක් පමනි.තවත් එක් උදාහරණයක් පමනක් ගෙන හැර දක්වන්නම්.

මාත් මාගේ මවත් පමනක් නිවසේ සිටින්නෙමු. ඇය රෝහලේ නතරවී සේවය කළ යුතු නිසා රාත්‍රී කාලයේ මාත් සමග නැවතී සිටීමට හැකිදැයි අප දන්නා නෑදෑවරියකගෙන් විමසුවාය.

"අපිටත් කොරෝනා හැදියිද දන්නෑ නැන්දෙ"

මව ඇමතුම විසන්ධි කළාය.

අහන්න. ඔබේ හදවතින් අහන්න.ඇත්ත; සෞඛ්‍යය 
සේවයේ නියැලෙන අය සමග ගැටෙන්නට ඔබට බියක් ඇතිවනු ඇත.

නමුත් ඔබට හෘදයාබාධයක්, අසනීපයක් හැදුන විට නැවත දිවි ලබාදෙනුයේ ඒ නයිටිංගේල්වරු නොවේද?

ජීවිත බය එක් දිනකදී නොව දස දහස් දිනයන්හිදී ඔවුන් තුරන් කර දැමූහ. නමුත් ඔබ, ඔබේ මනුස්සකම රැකගත්තේ කොතැනද?

කුමන තත්ත්වය උදා උනත් රෝගීන්ගේ අසලටම ගොස් ඔවුන් සියලු කටයුතු කරන්නෝය. සර්වාංගයම වසාගන්නා ආරක්ශිත ඇදුම තුල ක්ලාන්ත වී වැටෙන්නෝය.

තම දූ දරුවන්, මවුපියන්, ස්වාමිපුරුශයන් මාස ගනනක් ඈත් කොට තබන්නෝය.

තවමත් අදටත් "අනේ දෙවියනේ" කියාගෙන සියලු දෙනාගේ සුවදුක් සොයන්නෝය.

ඔවුන් හැමදාමත් අපට සලකන්නේ මනුස්සකමිනි.

නමුත් අපි හුදෙක් අවස්ථාවාදී නොමිනිසුන් නොවෙමු ද? 



Nelum Gamage
Faculty of Engineering




Comments

Post a Comment

Most Popular Diary Entree

|| අප්‍රේල් 21 - 365 ට පෙරවදනක් ||

|| A Badly Miss - Not for One, but for All ||