|| අළුත් අවුරුද්දට අළුත් දෙයක් ||

නොනගතය වෙලාව පටන් ගත්තට පස්සේ රෑ 8.23 වෙනකල් මුකුත් කරන්න දෙයක් නැති නිසා, පොඩි නොදත් දෙයක් ගැන කියන්න හිතුවා අළුත් අවුරුද්දකට යන අතරවාරේ.
............
"නිවසේ සිට අවුරුදු" කියන තේමාව එක්ක තමයි අද TV channels හැම එකක්ම වගේ වැඩසටහන් විකාශය කරන්නේ. ITN නාලිකාවේ ගියපු වැඩසටහන බලමින් ඉන්න අතරේ වියත් සභාවේ හිටපු හෙළ කෘෂිකර්මය පිළිබඳ ප්‍රවීණයෙක් වුන මහත්මයෙක්, බොහොම වටින, අපි ගොඩාක් දෙනෙක් මේ වෙනකල් නොදැන හිටපු කරුණු ටිකක් කිව්වා නොනගතය ගැනයි අවුරුදු උදාව ගැනයි. "නොනගතය" කියන වචනයේ තේරුම නැකතක් නොමැති කාලය කියන එක. මේ කාලය ඇතුළේ නැකතක් නොයෙදෙන්න හේතුව හරි අපූරු එකක්. ඉස්සර විශ්වාස විදියට තිබුණු මේ කරුණ, අද වෙද්දි විද්‍යාවෙන් ඔප්පු කරගෙන තියනවා කියලයි එතුමා කියන්නේ.
.............
අළුත් අවුරුද්දේ සමස්ථ පදනම එන්නේ සූර්යයා එක්ක. අවුරුද්ද උදා වෙනවා කියලා කියන්නෙත් සූර්යයා මීන රාශියක ඉඳන් අළුත් මේෂ රාශියකට ගමන් කරනවා කියන එක. මේ සංක්‍රාන්ති සමය සිද්ධ වෙන්නේ නොනගතය නැකත යෙදෙන කාලය ඇතුලේ. මේ සංක්‍රාන්තිය වෙනකොට සූර්යයා විසින් නිකුත් කරන දෘෂ්‍ය ආලෝක වර්ණාවලිය(Visible Light Spectrum) ඇතුළේ, පැරණි රාශියේ රතු ආලෝකය සහ නව රාශියේ දම් ආලෝකය එකට මුහු වීමක් සිද්ධ වෙනවා. මේ මුහුවීමෙන් නිකුත් කරන රතු - දම් මිශ්‍ර ආලෝකය විශ්වයට ඉතාමත් අහිතකරයි. ඒ නිසා මේ ආලෝක ධාරාවේ මුහු වීම අවසන් වෙනකල් සුභ කටයුතු ආරම්භ කරන එක නුසුදුසුයි කියන එක තමයි මේ නොනගත කාලයේ විද්‍යාත්මක පදනම. මේ ආලෝක මුහු වීම අවසන් වෙන්න පැය 6කුත් විනාඩි 24ක් යනවා. ඊට පස්සේ තමයි නව අවුරුද්ද උදා වෙලා සුභ නැකැත් පටන් ගන්නේ. මේ අවුරුද්දේ නොනගතය ලැබුවේ ප.ව. 1.59ට. අළුත් අවුරුද්ද උදා වෙන්නේ ප.ව. 8.23ට. මේ අතරතුර කාලය හරියටම පැය 6යි විනාඩි 24ක්. අවුරුද්ද උදා වුනාට පස්සේ තවත් පැය 6කුත් විනාඩි 24ක් ඉස්සරහට නොනගත වෙලාව ගමන් කරනවා සංක්‍රාන්තිය මුළුමනින්ම සම්පුර්ණ වෙනකල්. ඒ අනුව ගත්තම මේ පාර නොනගතය අද(13) දවල් 1.59 ඉඳන් හෙට(14) පාන්දර 2.47 වෙනකල් යනවා.
..............
අවුරුද්දෙදි වගේම හැම සුභ කටයුත්තකදිම අපි පත්තු කරන "කුකුළා ඉහළින් රැඳි" පොල්තෙල් පහන ගැනත් හොඳ දෙයක් එතුමා කිව්වා. කුකුළා හඬලන්නේ හැමවෙලාවෙම සූර්යයාගේ උදාවත් එක්ක නැගෙනහිර දිශාවට හැරිලා. ඒකේ විද්‍යාත්මක පදනමක් විදියට බ්‍රහ්ම පාදයකට බැඳුණු කතාවකුත් කීවා. මට ඒක නම් හරියටම ගලපන්න මතකයක් නෑ. එතුමා අවසානයට කියපු කාරණය තමයි, කුකුළා සහිත පොල්තෙල් පහන පත්තු කරන හැම වෙලාවකම ඒක නැගෙනහිර දිශාවට හරවලා පත්තු කරන්න කියන එක. ඉතින් මේ අපූරු කරුණු ටිකත් එකතු කරගෙන, තව පැය කීපයකින් උදා වෙන අළුත් අවුරුද්දට අපි අළුත් විදියට යමු කියලා මං යෝජනා කරනවා.

- යශෝද් රාජසිංහ -
වෛද්‍ය පීඨය

Comments

Most Popular Diary Entree

|| අප්‍රේල් 21 - 365 ට පෙරවදනක් ||

|| A Badly Miss - Not for One, but for All ||