|| කරන්න දේවල් ද නැත්තේ? ||

"කොවිඩ්-19" හේතුවෙන් පුද්ගල මරණ 5ක් වාර්තා වී ඇති පසුබිමක සිට ලියමි.
.......
මිනිසුන් තවමත් කියන දෙයක් කනකට නොගන්නා බවක් පෙනෙන්නට තිබේ. ඊට ජාතියක් ජන්මයක් නැති සෙයකි. තවමත් මෙවැනි වැඩ කරන්නේ, ගෙදරටම වී සිට ඇඟේ පතේ හිරි ඇරගන්නට බැරි වූ අය වන්නට ඇත. ඔබටත් එවැනි හිරියක් ඇරගන්නට තිබේ නම් හෝ හිරි ඇරවන්නට අයෙක් සිටී නම්, කරන්නට හොඳ යමක් යෝජනා කරමින් මේ සටහන ලියමි.
........
මේ දිනවල රූපවාහිනියේ නාලිකා බොහෝමයක් ඉතාමත් හොඳ රසවින්දන වැඩසටහන් විකාසය කරමින් සිටියි. තම සුපුරුදු daily transmission එකට අමතරව පැරණි සාහිත්‍ය නිර්මාණ පිළිබඳ වැඩසටහන් කිහිපයක් අළුතින් එක් කොට තිබේ. දෙරණ නාලිකාවේ "මා නොවන මම", ITN හි "ශනිදා සාදය", ජාතික රූපවාහිනියේ "සිහිනයකි රෑ", චරණ TV හි "කවි 10ට ගී 10ක්" ආදී වැඩසටහන් ඉතාමත් හොඳ රසවින්දනයක් ලබා දෙන වැඩසටහන් කිහිපයකි. අළුත් ගීත පමණක් අසන, දවසම පාඩම් කරන, දවසම කා බී නිදියන, දවසම වත්තේ පිටියේ වැඩකරන නැතහොත් දවසම කිසිඳු වැඩක් නොකර සමාජ මාධ්‍ය වල සැරිසරන ඔබට, ඔබේ සහෝදරයාට/සහෝදරියට, ඔබේ මිතුරාට හෝ ඔබේ දරුවාට, ඒ monotony එකෙන් මිදෙන්නට මේ වැඩසටහන් නැරඹීම හොඳ ව්‍යායාමයක් වනු ඇත.
.........
සියල්ලම බලන්නට පහසුකමක් හෝ හැකියාවක් නොමැති නම් එයටත් පිළියමක් යෝජනා කරමි. ගායක ගායිකාවන් තෝරන්නට අවශ්‍ය නැත. සෑම පද රචකයෙක්ම සොයන්නට ද අවශ්‍ය නැත. මහගම සේකර, කරුණාරත්න අබේසේකර සහ ප්‍රේමකීර්ති ද අල්විස් යන පද රචකයන් තිදෙනා පමණක් තෝරාගෙන, ඔවුන් ලියූ ගීත සොයාගෙන රසවිඳින්න. එසේත් නැතිනම් සෑම තනු නිර්මාපකයෙක්ම අවශ්‍ය නැත; ආචාර්‍ය ප්‍රේමසිරි කේමදාස, ආචාර්‍ය රෝහණ වීරසිංහ හා M.K. රොක්සාමි යන තනු නිර්මාපකයන් තිදෙනා පමණක් තෝරාගෙන, ඔවුන් නිර්මාණය කළ ගීත සොයාගෙන රසවිඳින්න. නිර්මාණ වලට අමතරව ඔවුන්ගේ ජීවිත කතාව සොයාගෙන කියවා බලන්න. ලාංකේය ගීත ඉතිහාසයේ බිහිවූ හොඳම ගායක ගායිකාවන් පිරිස, මෙකී විශිඨයන්ගේ නිර්මාණ හරහා ඔබට නිරායාසයෙන්ම හමුවනු ඇත.
.........
අපේ රටේ ගීතයේ රසම තැන් ටික මේ නිර්මාණ තුළින් ඩැහැගන්නට උත්සාහ කරන්න. ව්‍යංගාර්ථයන් විචාරය කරන්නට උත්සාහ කරන්න. සංගීත පෙළගැස්ම ගැන විචාරය කරන්න. අර්ථය විඳින්න. වචන ටික නිදහසේ තේරුම් ගන්න. ආදරය කරන්නා ආදරය කරන සැටිත්, විරහව විඳින්නා විරහව විඳින සැටිත්, සමාජ අසාධාරණය හාස්‍යය හරහා සමාජගත කළ සැටිත්, දේශයේ අභිමානය ලොවකට දනවන සැටිත්, මව්පිය ගුණ අසීමිතව වැයුණු සැටිත් හොඳින් අධ්‍යයනය කරන්නට පුරුදු කරන්න. එවිට වැඩක් නැතිව ඔහේ සැරිසරන්නට සිත්වන හැඟීම් පාලනය වී, කොරෝනාව වැළඳගැනීමට යන ගමන් මඟ ඇහිරෙනු ඇතිවා පමණක් නොව, රට නැවත නැඟිටින දින වන විට කොන්ද කෙළින් ඇති පරාර්ථකාමී ජාතියක් ද යළි පණගසා එනු නිසැක ය.

- යශෝද් රාජසිංහ -
(වෛද්‍ය පීඨය)

Comments

  1. Nice one..❤ love it..Good music is the medicine that heals everyone.😍

    ReplyDelete
    Replies
    1. Thank You very much!! Yeah indeed music is the best....

      Delete
  2. Music is the universal language and it brings healing to those who need it the most. Well written.

    ReplyDelete

Post a Comment

Most Popular Diary Entree

|| අප්‍රේල් 21 - 365 ට පෙරවදනක් ||

|| A Badly Miss - Not for One, but for All ||