දයාබර "පේරා" වෙත ලියමි...
වෙනදට වගේ ඉරිදා හවසට ඇහෙන අම්මගේ කන්දොස්කිරියාව දැන් සති ගාණක ඉඳන් නැති ගාණයි. ගොම්මන වැටීගෙන එන හැන්දෑවක පහේ කණිසමට එන නුවර බස් එක අල්ලන්න ගොඩගම හන්දියට දුවන මං පස්සේ එන රොකීයයි, දුඹුරු පැටීයි අද ඉස්තෝප්පුවේ පුටුවක් උඩට වෙලා දපනේ දාගෙන බුදි.මං යනවා දැකලා තකහනියක් ම කෑගහන ඉස්සරහා ගෙදර නැන්දත් අද දොර වහගෙන ගේ ඇතුළට වෙලා. හවසට පාරේ සෙල්ලම් කරන ඇටිකිච්චි පොඩි උන් ටිකත් දැන් දැන් ගෙවල් ඇතුළේ කරබාගෙන. ඒත්... අද අම්මයි,තාත්තයි, මමයි තුන්දෙනා එක්ක ඉරිදා හවසක ටෙලිවිෂනය ඉස්සරහා හරිම සතුටෙන් දෙරණේ යන "මා නොවන මම" සංගීත සුයාමයට සමවැදිලා.. දයාබර පේරා.. මේ සති තුනට ජීවිතය හරි වෙනස් වෙලා..
වෙනදට අම්මා කෙහෙල් කොලේ ඔතන කප්පරක් උස බත් පිඩ කන්න ඇස් දිලිසෙන කාමරේ කොල්ලෝ ටික අද මං වටේ නෑ..ඒ කාලා ඉවර උන ගමන් බිබිලේ පල්ලෙහා තට්ටුව දෙවනත් වෙන්න එකෙක් කියන රස කතාවට ඌනපූරණ එකතු කරන්නවත්..ඒත් එක්කම ඇහෙන තවෙකෙක්ගේ අඳෝනාවකට හෙමීට අත් අල්ලන්වත් දයාබර පේරා අද උඹ ගාව අපි නෑ. සඳුදා උදේ පාන්දරක හීතලේ ගැහි ගැහී රජවත්ත පාරේ බයිසිකලේ එද්දී හම්බෙන, AHS එකේ ලස්සන ගෑණු ළමයි අද නම් හිනාව හංඟගෙන වගේ..වෙනදට පරණ ගලහ පාර දෙපැත්තේ කුකුළත් අතේ අරන් ලෙක්චරේට දුවන ගැටිසි, ගැටිස්සියෝ කවුරුවත් ම ගෙවල් වල..හෙළ බොජුන් හලේ තෙල් රස්නෙට දාඩිය අස්සෙන් හිනාවෙන දයාබර නැන්දලවත්.. නාහෙ ඇඹරෙන ආප්ප, තෝසේ,කොළ කැඳ සුවඳට මුහුවෙච්චි රස කෑමවත් අද බඩට නෑ..දවල් වරුවක ෆැකල්ටි කිරිහලෙන් කිරි බේරි බේරි කන රස අයිස් පලමකට හාද වුණ ලෙන්ගතු අපේ කතාබහත් අපිත් එක්කම ගෙට ගෙවැදිලා.. ඒ කොහොම උනත් රුපියල් 40ට හම්බෙන ලුණු රහ වෙනම හොයන්න ඕන කැන්ටිමේ අසංක අයියගේ අමුතු බත් එකට ගහන්න නම් ඔය කොයි කාටවත් බැරුව ඇති..
දයාබර පේරා ඔයා ගාවම තියෙන ඒ අමතු රසයන් ලෝකෙ වෙන කොහේවත් නැහැ..
යන්තමට කලුවර වැටීගෙන එන්න කලින් අඟහරුවාදා හවසක පෙට්ටි කඩේ පැත්තෙන්, පිට්ටනිය මැද්දෙන් සෙනට් එක පැත්තට දුවන දිවිල්ල අද ගියර් මාරු කරපු පාටයි.. ඒ දුවපු හයියටම වත්තේ පොළවට වදින උදලු පාරෙන් තව මාසෙකින් පල දරන බණ්ඩක්කා කරලක් ඒ හයියට සාක්ෂි දරාවි.. සෙනට් එක යට එක එක ෆැකල්ටියෙන් ආපු, කියලා නිම කරන්න බැරි දවසක්,පාස අලුත් වෙන යාලු කම් වල මිහිර අද නැතිවුණත්, ගෙදරට වෙලා ඉන්න මේ ටිකේ අම්මා එක්ක.. තාත්තා එක්ක.. ගොඩනැගුණු ..අලුත් උන බැඳියාව මහමෙරක් තරම් වටිනවා...
දයාබර පේරා.. රූ වෙද්දී නිහඬ වෙන ගලහා පාරේ සද්දෙත්, අරූ එකට ලස්සනට පේන බැහැගෙන යන ඉර මඬලත් අපි නැතුවත් තාමත් උඹත් එක්කම හිනැහෙනවා ඇති.. අත් පටලන් මල් මාවතේ යන සුකොමාල පෙම්වතුන්වත්, තාමත් හිතේ අයිතිකාරි..අයිතිකාරයා හොයමින් කොහේ හරි ගහක් ගාව ඒක පුද්ගල මනෝ භාවයක තනිවුණ අහිංසක ඔටු ජීවිත අද නැති උනත්, බක් මහේ හැඩට පිපිච්ච වෛවර්ණ රොබොරෝසියා මල් හුළඟට හෙලවිලා කරන නැටුම් නම් උඹට පොඩ්ඩක්වත් අඩු නැතුව ඇති..
මහ රෑට ඩෝමෙට්රි දෙවනත් වෙන කෙල්ලන්ගේ සද්දෙවත්, එළි වෙන්න බංකුවක සද්දෙට ඇහෙන බජව්වක් අද නැති උනත්.. ගස් වල වදින සීතල හුළං පාරවල් මවන නාද රටා නම් උඹ තාම පිනවනවා ඇති..
දයාබර පේරා... උඹ නැතුව අපේ හිත් හරියට හූල්ලන ගාණයි.. අපි නැතුව උඹත් මොකද්දෝ පාලුවක ගිලිලා වෙන්න පුලුවන්.. ඒත්.. ලස්සන නිවාඩු සමයන් හැමදාම එන්නේ නෑ.. තව තවත් හැඩ වෙලා, අපි පිළිගන්න උඹ ලෑස්ති වෙයන්... අපි අලුත් උන ලෝකෙත් එක්ක තෑගිත් අරන් අවුරුදු ඉවර වෙලා ගම රට එන්නම්.. එතකන් ආයුබෝවන්..
Lavindu Sachintha Mederipitiya
Faculty of Agriculture
Nice one ayye 😍👌
ReplyDeleteThanks nangi😁❤
DeleteBeautifully written brother.Please post more!!!
ReplyDeleteThanks for the words.. Yes ,I will
DeleteGreat brother even though i am still at mahailuppallama i can feel these words .
ReplyDeleteWonderful.You will unveil the beauty soon
Delete💪💪
ReplyDelete