|| ආදරණීය ෆ්‍රෙඩී - විකටයෙක් නොවූ විකටයෙක් ||

ලාංකේය කලා ක්ෂේත්‍රය එදා මෙදා තුර බිහි කළ විශිෂ්ටයන්ගේ නාමාවලියේ මුල් දස දෙනා අතර රැඳවිය හැකි අමරණීය නාමයකි, "ෆ්‍රෙඩී සිල්වා". සිය සහජ කුසලතාවයෙන් ගායනය හා රංගනය වෙනස්ම ආරකට ගෙනගිය මේ අසහාය කලාකරුවා ගැන යමක් කියන්නට සිතුණේ, ඔහු ගැන මෑතක බුකියේ පළ වූ ලිපියක් කියවීමෙන් පසුව ය. අධික බීමත්කම නිසාවෙන්ම අකාලයේ රටට අහිමි වූ තවත් සම්පතක් ලෙස ලැයිස්තුගත වන මේ පුංචි දැවැන්තයාට, මතක ඇති ඉතිහාසයේ පටන් ලබාදෙන වටිනාකම මඳක් අඩු වී ඇති බවක් වැටහෙයි. එම නිසා ඔහු ගැන යමක් ලියන්නට සිතුණි.
........
වර්ෂ 1938 මැයි මස 18 වන දින, ලාංකේය කලාවට බුරුතු පිටින් වීරයන් දායාද කළ මොරටු පුරයේ උපන් "හල්පේ ලියනගේ මොරිස් ජෝසප් ද සිල්වා", අප කා අතරත් ජනප්‍රිය වූයේ "ෆ්‍රෙඩී සිල්වා" යන නමිනි. 1950 දශකයේ, එවකට අග්‍රාමාත්‍ය වූ ශ්‍රීමත් ජෝන් කොතලාවල මැතිඳුන්ගේ සාදයකදී ලබා දුන් අභියෝගයකට පිළිතුරක් ලෙස ගැයූ "බාර් බාර් බාර්. නම් ගීතයෙන් ගායන ක්ෂේත්‍රයට පා තබන්නට අගමැති වරමක් ලද මෙතුමා, ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ශිල්පියෙක් ලෙස සිය සේවය ඇරඹී ය. "මොට්ටපාල" නම් ගීතයෙන් සිය ගීත ගොන්න පිරවීම ඇරඹූ හෙතෙම, හාස්‍යෝත්පාදක ගීත කලාව දිග් විජය කළ ප්‍රධානතම ගායකයා විය. ප්‍රේමකීර්ති ද අල්විස් නම් ඒ දැවැන්ත චරිතය හමුවීමත් සමඟ, හාස්‍යෝත්පාදක ගීත කලාව හරහා සමාජයේ මිනිසුන්ගේ ඇති හිස්තැන් අපූරුවට සරදමට ලක් කරන්නට ඔහුට හැකි විය. එහි ප්‍රතිඵලයක් ලෙස ආදරණීය "ප්‍රේම්" හා තවත් පද රචකයන් අතින් ලියැවුණු "පාන් කිරිත්තා, ආරොන් මාමා, අමුතු ඇඳුම් ඇඳ හඬවන, කුණ්ඩුමනී, පරණ කෝට්, හඳ මාමා, අලුත් කලාවක්, රාජ මාළිගේ පරවියා වගේ, චිං චිං නෝනා චිං චිං, තේ කූඩය පිටේ බැඳන්, පණ පලයන් ලබන සුමානේ" ආදී වූ පරම්පරා ගණනක් පවතින ගී ගොන්නක් අපට දායාද කරන්නට ඔහු සමත් විය. 1963 දී තිරගත වුණු K.A.W පෙරේරා මහතාගේ "සුහද සොහොයුරෝ" චිත්‍රපටයෙන් රංගනයට පිවිසි මෙතුමන්, එතැන් පටන් "විකට නළු" සංකල්පය ඔස්සේ ප්‍රධාන වශයෙන් සිනමාවේ අණසක පතුරවන්නට සමත් විය. බොහෝ දෙනා දැන සිටි විකට නළුවාගේ චරිතයෙන් ඔබ්බට ගොස්, "සැකය(1965)" හා "ලසඳා(1974)" ආදී වූ චිත්‍රපට ගණනාවකම චරිතාංග නළුවෙක් ලෙස සිය දක්ශතාවය පෙන්වන්නට ද මේ හිත හොඳ මිනිසාට හැකි විය. 1980 දශකය වන විට ෆ්‍රෙඩී සිල්වා නොමැති සිංහල චිත්‍රපටයක් නිශ්පාදනය නොවූ තරම් වූ අතර, 1992 වසරේ නිපදවූ චිත්‍රපට 26න් 15ක්ම මොහුගේ අඝ්‍රගන්‍ය රංගනයෙන් හැඩ වැඩ විය. ප්‍රේමකීර්ති, විජය කුමාරතුංග, ගුණදාස කපුගේ, වික්ටර් රත්නායක, ජෝතිපාල, ජෝ අබේවික්‍රම ආදී කලා ලොව විශිෂ්ටයින් සමඟ හරි හරියට මුහු වෙමින් අමුතු වැඩ කරන්නට, ආදරණීය ෆ්‍රෙඩීට අවස්ථාව ලැබිණි.
.......
එහෙත් අප දන්නා කියන බොහෝ කලාකරුවන් මෙන්ම ෆ්‍රෙඩී සිල්වාට ද එක් වැරදි පුරුද්දක් තිබිණි. මේ පුරුද්ද තමන්ගේ ජීවිතයේ නිසැක අවසානය ළඟා කරන බව දැන දැනත් ඉන් මිදීමට ඔහුට නොහැකි විය. මත්පැනට තිබූ අධික ලොල් බව හේතුවෙන් 90 දශකයේ මැද භාගයේ පටන් "සිරෝසිස්" රෝගයෙන් දැඩි ලෙස පීඩා විඳි මෙතුමන්, සියල්ලන්ගේ ඇස් ඉදිරිපිට දිනෙන් දින දුර්වල වෙමින් සිටියේ ය. ජීවිතයේ අවසන්
කාලය කාගේ හෝ හව්හරණක් නොමැතිව මොරටුව රාවතාවත්තේ පිහිටි අබලන් වූ ගරාජයක ගත කළ මේ විශිෂ්ටයා, 2001 වසරේ ඔක්තෝබර් මස 19 වන දින සිය වසර 63ක ජීවිත ගමනට සමුදුන්නේ, ලාංකේය කලා කෙතට අකාලයේ අහිමි වූ තරු ලැයිස්තුවට තවත් නමක් එකතු කරමිනි.
........
කෙසේවෙතත් ඔහුගෙන් පසුව ගායනයෙන් සහ රංගනයෙන් එකම තේමාවක් බබළවන්නට හපන් සමතෙක්, තවමත් මේ දිවයිනේ බිහිවී නැත. එහෙත් මෙතුමන්ගේ නිර්මාණ තමන්ගේ කරගනිමින් re-make සංකල්පයට භාජනය කරන අහුමුළු වල සිටින, ගායකයන් යැයි කියාගන්නා උදවිය නිසාවෙන්, මෙතුමාගේ විශිෂ්ටත්වය අනාගත පරපුරකට විඳගැනීමට ඇති ඉඩකඩ ඇහිරී ඇති බැව් කිවයුතුම ය. වර්තමානය වන විට මාධ්‍ය හරහා ද මෙතුමන්ගේ විශිෂ්ටත්වය ගැන සැකසුණු හරවත් වැඩසටහන් ප්‍රචාරය නොවීම ද ඉතා කණගාටුදායක ය. එනමුත්, "ෆ්‍රෙඩී සිල්වා" යන නාමය අපට ඉතිරි කර ගිය ඒ සුවිශිෂ්ට සලකුණ, ලාංකේය කලා කෙතේ ඉතිහාස කතාව තුළ වෙනම ම පරිච්ඡේදයක් ලියා හමාර ය.

- යශෝද් රාජසිංහ -
වෛද්‍ය පීඨය

Comments

Most Popular Diary Entree

|| අප්‍රේල් 21 - 365 ට පෙරවදනක් ||

|| A Badly Miss - Not for One, but for All ||