සහෝදරයෝ මිය නොයති...
සහෝදරයෝ මිය නොයති...
සහෝදරයා කියලා කියන්නේ කාටද? සහෝදරයකු විය හැක්කේ ඔබේ මවට දාව එක කුස උපන් එකෙකුට පමණද? එක්තරා කතාවක් මා අසා ඇත. සමාන හෘදයන් ඇති උන් සහෘදයන් වන බව. එය ඇත්තක් බව මට හරියටම වැටහෙන්නට පටන් ගත්තේ මෑතක දී දුටු එක්තරා ටෙලි නාට්‍යයක් නැරඹීමෙන් අනතුරුව. ඒ නාමල් ජයසිංහයන් විසින් රචනය කර අධ්‍යක්ෂණය කළ සහෝදරයා ටෙලිනාට්‍යයයි. එහි එන එක් චරිතයකට මම දැඩිව ප්‍රේම කරමි. හේ අජන්ත ය. මෙතැන් සිට මම අජන්තට සාධාරණයක් කරන්නට පමණක් ම මෙය ලියන්නට උත්සාහ කරමි. එම චරිතය ගැන කැකෑරුණු හැඟීම් සමූහයක් කැටිකොට මෙලෙස දිග හරිමි.
අජන්ත මේ ආත්මාර්ථකාමී සමාජය තුළ ළඟාවිය නොහැකි යැයි බොහෝ දෙනෙකු විශ්වාස කරන මනුස්සකම් ප්‍රායෝගිකව ගෙනහැර පෑ අයෙකි. එක් අතකට රස්තියාදුකාරයෙකි. නමුත් ඔහු හරි අවංක රස්තියාදුකාරයෙකි. තමාගේ පණටත් වඩා අනෙකාට ප්‍රේම කළ, තමන් ජීවත්වන සමාජයට ප්‍රේම කළ ඒ වෙනුවෙන් අසීමිත කැපකිරීම් කරපු හිතහොඳ රස්තියාදුකාර ඉලන්දාරියෙකි. ඒ කැපකිරීම්වලට ඔහු කිසිම ලාභ ප්‍රයෝජනයක් බලාපොරොත්තු නොවී ය. එකම අරමුණ වූයේ මේ සමාජය වඩාත් යහපත් වූ එකක් කිරීම ම පමණි. ඉතිං මෙය ලියන්නට මත්තෙන් මා කීප වරක් මගේ හිතෙන් විමසූ දෙයක් ඇත. එනම් අජන්ත වගේ උන් අප අතර සොයාගත හැකිද?
මට නම් තවමත් එහෙම උන් මුණගැසී නැත. අඩු තරමින් එහෙම එකෙකු දකින්නටවත් අවස්ථාවක් ලැබී නැත. එසේ නම් එහෙම උන් ඇත්තටම ඉන්නවද? සමහරවිට ඇති. ඒ කෙසේ වෙතත් වඩා වැදගත් වන්නේ එහෙම එකෙකු වන්නට උත්සාහ කිරීම ය.
හැමවෙලාවකම තමන්ගෙ හෘද සාක්ෂිය අජන්තව අමතයි. ඒ සෑම වෙලාවකදීම ඔහු ඔහුගේ හෘද සාක්ෂියට උපරිම සාධාරණයක් ඉටු කරන්නට උත්සාහ කරයි. ඔහු ඔහුගෙන් ම විමසන කාරණයක් ඇත. "උඹත් ආදරේ උඹේ අම්මට විතරද? උඹේ කෙල්ලට විතරද? උඹේ දරුවට විතරද? අනිත් උන් වගේ ම? උඹත් එහෙම උනොත් කෝ බං අපිට උදාහරණ? අපි කාවද පෙන්නන්නේ? එක ගැහැනියෙකුගෙන් පිරෙන්න තරම් උඹේ හදවත පුංචිද?" හෘද සාක්ෂිය ඔහුගෙන් විමසයි.
"උඹ ආස කරපු හැම පොතකට ම, එකඟ වෙච්ච හැම දර්ශනයකටම, විශ්වාස කරපු හැම යාලුවෙකුට ම ගරු කරපු හැම ශාස්තෘවරයකුට ම මමත් ඒ දේ කළා. උඹ ආදරය කරපු හැම කෙල්ලෙකුට ම මමත් ආදරය කළා." ඒ ඔහුගේ පිළිතුරයි. "උඹ මගේ සියල්ලටම ආදරය කරපන්. මට උඹව විශ්වාසයි. උඹ මගේ සහෝදරයා!!!" ඒ මේ කතාවේ තැනින් තැනින් මා ඇහිඳගත් වචනයි.
මෙහි එන වචනයක වුවත් නොදකින ගැඹුරක් ඇත. තමන්ට තමන් විසින් ම පවරාගත් දැවැන්ත වගකීමක් අජන්ත සතුව ඇත. ඔහු රජීව් වෙනුවෙන් රජීව්ගේ බිරිඳ, ඇගේ කුසේ සිටින දරුවා, රජීව්ගේ අම්මා ආරක්ෂා කිරීමට දිවා රෑ නොබලා වෙහෙසෙයි. තමන් තමන්ටවත් වග කියන්නේ නැති සමාජයක තවෙකෙක් වෙනුවෙන් කොන්දේසි විරහිතව ආදරය, දයාව, කරුණාව, රැකවරණය ලබා දීම විරල දෙයක් නොවේද? ඒ වෙනුවෙන් අජන්ත තවදුරටත් බැඳී සිටීම අපට මේ සමාජ ක්‍රමය තුළ බලාපොරොත්තු විය හැකිද?
" අනික් මිනිස්සු මොනව හිතුවත් මට කමක් නෑ. ඒත් මම... මං ආදරය කරන මිනිස්සු... එයාලා හිතන එක මට වැදගත්.." විටෙක අජන්ත උත්තරා දේවියට කියයි. ඔහු ඒ කියන්නේ අපේ මිනිස්සුන්ගේ කිලිටි හිත් ගැන විය යුතු ය. අපිරිසිදු පරමාර්ථයකින් තොරව වැන්දඹු ගැබිණි තරුණියක් වෙනුවෙන් කැපවෙන, ඇයට උපරිමයෙන් ගරු කරන, ඇයව ආරක්ෂා කරන්නට ඉදිරිපත් වන එකෙකු සොයාගැනීම සැබවින් ම උගහට ය. තවද සමාජයෙන් එන අපවාද, චෝදනා, අවලාද හමුවේ එසේ ඉදිරිපත් වීම බලාපොරොත්තු විය හැකිද? ඔබට විශ්වාස කළ හැකිද?
අජන්තගේ චරිතය තුළ ම දැකිය හැක්කේ ආදරයයි. එය මුළු මහත් සමාජයට ම පතුරුවන්නට ඔහු අපට උගන්වයි. අකුරු හතරකට එහා ගිය නොපෙනෙන ගැඹුරක් එතැන ඇති බව ඒත්තු ගන්වයි. "අපි ආස කරන සමාජය අහසින් පාත්වෙන්නෙ නෑ උත්තරාදේවි. අපි ඒකට උත්සාහ කරන්න ඕන." අජන්ත උත්තරා දේවියට තේරුම් කරන්නට උත්සාහ කරයි.
"අජන්තට පුළුවන්ද මටයි මගේ දුවටයි මීට වඩා හොඳ රටක් පොරොන්දු වෙන්න?" එය උත්තරා දේවියගේ පැනයයි. උත්තරා දේවියගේ පමණක් නොව එය අප බොහෝ දෙනෙකුගේ පැනයයි.
සහෝදරයා ඔහුගේ කොටස කර ඇත. ඔහුගේ වගකීම වෙනුවෙන් අසීමිතව කැප වී ඇත. පසුව ඔහු නොදැනීම සමුගනී. නමුත් ඒ ප්‍රමාණවත් ද? අජන්තට විතරක් තනියම සමාජයක් කණපිට හැරවිය හැකිද? නාමල් ජයසිංහයන්ම කියන පරිදි අජන්තව තවදුරටත් ජීවත් කරවීම අවශ්‍ය නැත. එසේ කිරීමෙන් අපට අපගේ යුතුකම ගැන ඔහු නැවත මතක් කරදෙයි. එකෙකුට ඒ බර පැටවිය නොහැක. මේ සමාජයේ ඉන්න හැම එකෙකුට ම ඒ ගැන වගකීමක් ඇත. යුතුකමක් ඇත. අජන්තගෙන් දුටු වීරත්වය, ආදරය, මනුස්සකම් දිනාගත යුත්තේ අප ය. අප හැම එකෙකුට ම ඒ වෙනුවෙන් වෙනස් වන්නට හැකිනම් අජන්තට උපරිම සාධාරණයක් කරන්නට අපට හැකිවේ. අජන්ත නික්ම යාමට මත්තෙන් රජීව්ගේ මවට පැවසූ පරිදි රජීව් කළා වගේ ම, ඉපදෙනකොටත් පැරදුණු මිනිස්සු බව දැන දැනත්, නැවත කිසි දෙයක් ලැබෙන්නෙ නැති බව දැන දැනත්, මේ රටට, මේ රටේ මිනිස්සුන්ට ආදරය කරන්නට හැකි නම්, යහපත් වූ වෙනසක් වෙනුවෙන් උත්සාහ කරන්නට හැකි නම්, ඒ වෙනස විශ්වාස කරන්නට හැකි නම් සැනසීමේ හුස්ම ටික යවා ගත හැක. හුස්ම ගිය පසුත් ජීවත් වීමට හැකිවනු ඇත. කවදා හෝ ජයග්‍රහණය කරන්නට අපට හැකිවනු ඇත. සමාන හදවත්වලට අනෙකා ගැන ඉවක් ඇත. අනෙකාව දැනේ. වැටහේ. සහෝදරයන්ට සහෝදරයින්ව වැටහේ. ඉතින්..
කිසිඳු කිසිදින බිඳහෙලනු බැරි
අහස සූරන පවුරු පදනම්
තියෙද්දෙන් තව තියෙද්දෙන්...
උන්ගේ ම පෙරහරින්
උන්ගේම හරසරින්
උන්ගේම තල්ලුවෙන්
උන්ගේ ම මල් පලස් මතින්
උන්ගේ නුවර මැදට ම යමු.
ආ බැව් නොපෙනෙන ලෙස යමු.
ඒ පවුරු පදනම් ඇතුළතින් ම පුපුරවමු..
දැන් ඉතිරිව ඇත්තේ අපේ කොටසයි. යමු අපි අපේ කොටස කරමු. සරු අස්වැන්නක් වෙනුවෙන් ඒ දක්වා වැඩ කොටස අපට හැකි අයුරින් ඉටු කරමු. එවිට අප ප්‍රාර්ථනා කරන, අප බලාපොරොත්තු වන ආදරණීය සමාජය, ඒ ලස්සන රට පමා වී හෝ අප වෙත ළඟාවනු ඇත.
ඉතින් සහෝදරයන් මිය නොයන බව සැබෑවකි. "මරන එක, මැරෙන එක, ලේසියි මල්ලි. ඒ ඔක්කොමත් එක්ක ජීවත් වෙන එක තමයි අමාරු."
ඉංජිනේරු පීඨය
This comment has been removed by the author.
ReplyDeleteහොද කියවීමක්😍
ReplyDeletemeaningful.. keep it up..
ReplyDeleteI have also watched this teledrama..:):):)