වසංගත සහ ජීව විද්‍යාත්මක අවි


‍කොරෝනා යනු චීනය විසින් ලෝක බලවතා වීම සදහා මුදා හරින ලද ජීව විද්‍යාත්මක අවියකි.
පසුගිය දිනවල මුහුණු පොතේ සරන විට දුටු ලිපි කිහිපයකම සදහන්ව තිබූ කරුණකි. එය කියවන මාගේ මතකයට නැගුනේ ඉතිහාස පොතේ පිටු අතර රැදි සුවිශේෂී සිදුවීමකි.

ක්‍රි.ව දා හතර වන සියවස යනු චීනයේ නැගෙනහිර කෙළවරින් අසු පිට නැගි ජෙංගිස් ඛාන්ගේ රණකමීන් මධ්‍ය ආසියාවම තම අණසකට ගෙන ලෝකයේ එතෙක් මෙතෙක් බිහිවූ විශාලතම අධිරාජ්‍යයන්ගෙන් එකක් පාලනය කරමින් සිටි යුගයයි. මහා රණකාමී ජෙංගිස් ඛාන්ගේ මරණයෙන් වසර දෙසියයක් පමන ගතව තිබුනෙන් අධිරාජ්‍ය කොටස් සතරකට බෙදී තිබුනි. මොංගෝලියානු අධිරාජ්‍යයේ යූරෝපීය පෙරමුණ ස්වර්ණමය කල්ලිය (golden horde) හෙවත් ටාටර්වරුන් විසින් පාලනය කෙරුනි.

                                                               මොංගල් රණශූරයන්
     https://todayinhistory.blog/tag/mongol-conquest/

සමාන්තරව යුරෝපය සිටියේ මුස්ලිම් වරුන් සමග අනවරත යුද්ධයක පැටලීය. ශුද්ධ වූ භූමිය සඳහා මුස්ලිම්වරුන් සමග වන යුද්ධයෙන් යුරෝපය හෙම්බත්ව සිටියේය. මේ ලෝක දෙක සම්බන්ධ කෙරුනේ සුපතල සේද මාවත මගිනි. කළු මුහුදේ ක්‍රිමියානු දූපතේ පිහිටි කැෆේ නගරය සහ වරාය සේද මාවතේ සුවිශේෂී සංධිස්ථානයක් විය. කැෆේ නගරයේ පාලනය ජෙනෝවා නම් ඉතාලියානු රාජ්‍යයක් සතු විය. නැගෙනහිරින් මොංගල් අධිරාජ්‍යයට මුහුනලා පිහිටියෙන් ඉතිහාසය පුරාම මොංගල් වරුන්ගේ අතවරයට ලක් වන්නට කුඩා කැෆේ නගරයට සිදු විය.
ක්‍රි.ව 1343දී මොංගල් පාලක ජෙනිබෙක් කැෆේ නගරය වෙතට 15 000ක මහා හමුදාවක් සමඟ දැවැන්ත ආක්‍රමණයක් දියත් කළේය. නමුත් ඔහු සඳහා තෝරාගත්තේ වැරදි කාලයකි. බටහිර පෙරමුණේ කැෆේ නගරයේ ජෙනෝවා වරුන් හා ඉතාලියානු හමුදාවන් සමග උරෙනුර සටන් කරන මොංගෝලියානුවන් නැගෙනහිර පෙරමුණේ අදිසි සතුරෙකු සමග සටන් වදිමින් සිටියහ. අතිශය දරුණු වසංගතයක් නැගෙනහිර චීනයෙන් ආරම්භ වී මුළු මොංගල් අධිරාජ්‍ය පුරා පැතිරෙමින් තිබුනි. කිසිදු ප්‍රතිකාරයක් නොමැති මෙම රෝගය දවස පුරා දහස් ගනනින් ජීවිත බිලි ගනිමින් කෙමෙන් කෙමෙන් බටහිරට පැතිරෙන්නට විය.
මෙසේ පැමිනි රෝගය ක්රමයෙන් කැෆේ යුධ පෙරමුණට සේන්දු විය. එය යුද්ධයේ දිශානතිය සම්පූර්ණයෙන් කනපිට හැරවීමට සමත් විය. ජෙනිබෙක්ගේ මහා සේනාව මැසි මදුරුවන් මෙන් දිනෙන් දින දහස් ගනනින් මිය යන්නට විය. ටිකෙන් ටික ටාටර් වරුන්ට යුද කෙරුම තබා මිය යන තම සගයන් මිහිදන් කිරීමටවත් සවියක් නැති විය. ලෝක ඉතිහාසයේ මහා ඛේදවාචකයකට මග කියූ අදහසක් ජෙනිබෙක්ට ඇති වන්නේ මේ අතරය.
වසර ගනනක්  කැෆේ සංග්‍රාමය ඇදුනෙන් අහසින් එන ඊතල ගිනි බෝල කැටපෝල පහරවල් කැෆේ වාසීන්ට අමුත්තක් නොවීය. නමුත් එදින ඔවුන්ට අහසින් පැමිනි දෙයින් ඔවුන් පුදුමයට පත්විය. පුදුමයටත් වඩා පිළිකුලට පත් විය. පැමිනියේ මළ කඳන්ය.  වඩාත් නිවැරදිව කිවහොත් මොංගෝලියානුවන් විසින් වසංගතයෙන් මියගිය තම සොහොයුරන්ගේ සිරුරු වලින් කැටපෝලය හරහා සතුරු කදවුරට පහර දී තිබුනි.
ජෙනිබෙක්ගේ උපාය දින කිහිපයකින් ප්‍රතිඵල ගෙන ආවේය. කැෆේ වැසියන් එකා දෙන්නා දිනෙන් දින  රෝගී වන්නට වූ අතර දින කිහිපයකින් ඇගිලි තුඩු කිහිලි ඇතුළු සිරුරේ තැන් තැන් කළු පැහැති විය. මළ සිරුරු හරහා කැෆේ වාසීන්ට වසංගතය බෝ වී තිබුනි. කෙසේ වෙතත් මොංගෝලියානුවන්ට අමතරව වසංගතයකුත් තමාට එදිරිව සටන් කරද්දී ඉතාලියේ සහය ලබා ගත් කැෆේ වැසියන් රෝගයෙන් දුර්වල වූ මොංගෝලියානුවන් පරාජය කිරීමට සමත් විය.
සැබෑ යුද්ධය ආරම්භ වූයේ ඉන් පසුවය. කැෆේ නගරය තුන් බියට අසුවූ විශාලා මහනුවර බදු විය. මිනී කදු වීදි පුරා ගොඩ ගැසෙන්නට විය. පැනගත හැකි වූවෝ නැව් නැඟ යුරෝපයට පැන ගත්හ.
දිනය 1349 ඔක්තොම්බර් මස එක් දිනකි. දකුණු ඉතාලියේ සිසිලි වරායට ජෙනෝවා නැවු දොළහක් පැමිනියේ කැෆේ සිටය. සිරිත් පරිදිම සිසිලි ජනතාව නැව් වට කර ගත්තේ වෙළදාම් සඳහාය. එහෙත් ඔවුන් දුටු දෙයින් භීතියට පත් විය. පැමිණ තිබුනේ මරණයේ නෞකාවයි. නැවියන් විශාල පිරිසක් මියගොස් සිටි අතර පන පිටින් සිටියෝද කළු ලප වලින් ගහන සිරුරු ඇතිව මිය යමින් සිටියහ. සිසිලි පාලනාධිකාරිය වහාම නැව් සමූහය වරායෙන් පිට කළද ඔවුන් පමා වැඩිය. අහෝ සුන්දර ඉතාලිය...! , නුබ අද මෙන්ම එදාත් වසංගතය දෝතින්ම වැළඳ ගත්තෙහිය. ඉතාලියේ නගර ගම් දනව් පුරා මරණයේ පනිවිඩය රැගෙන යමින් වසංගතය පැතිරෙන්නට විය. ඉතාලිය පමනක් නොව මුළු මහත් යුරෝපයම මාරාන්තික වසංගතයකට ගොඳුරු විය. ඔවුන් ගෙන වසංගතය වාතය මගින් මෙන්ම මැස්සන් සහ මීයන් මගින් යුරෝපය පුරාම පැතිර ගියේය.
                                                                                                                 
යුරෝපය එකම මිනී කනත්තක් විය. දිනපතා රෝගීන් ලක්ෂ සංඛ්‍යාතව මිය යන්නට විය. ඒත් සමගම සියළු නිෂ්පාදන බිද වැටුනි. දුර්භික්ෂ පැතිරුනි. එකල වෙදදුරන් හා පූජකයින් මත පළ කලේ මේ දේව කෝපයකින් පැතිරෙන වසංගතයක් ලෙසය. 1347 සිට 1353 දක්වා යුරෝපය හෙම්බත් කරවූ මෙම වසංගතය එකල ලෝකයට දේව කෝපයක්ම විය. 1353 වන විට යුරෝපයේ පමනක් මිලියන 20කට වැඩි ජනගහනයක් මෙම වසංගතය නිසා මෙලොවින් සමු ගෙන තිබුනි.

                                                  යුරෝපය තුළ වසංගතය පැතිරීම


 යුරෝපයේ ජනගහනයෙන් තුනෙන් එකකට වඩා මියගිය අවසානයේ වැඩවසම් යුගයේ නිමාවටද හේතුවක් වූ කළු මරණය හෙවත් බියුබෝනික් වසංගතය යුරෝපයට පැමිනෙන්නේ මෙසේය. තවත් ලෙසකින් කිවහොත් ලෝකයේ දරුණුතම ජීව විද්‍යාත්මක අවි ප්‍රහාරය දියත් වූයේ මෙලෙසය. අවසන් වශයෙන් ජිල්බෙක්ට ඇතිවූ මාරාන්තික අදහස නූතන පාලකයින්ට ඇති නොවේවායි ප්‍රාර්ථනා කරමු.

මූලාශ්‍ර -
https://www.history.com/topics/middle-ages/black-death 

-රවිඳු දරණගම
(ඉංජිනේරු පීඨය)

Comments

  1. Good work. I Think it should be Mogal empire..🤔

    ReplyDelete
    Replies
    1. There were two empires Mongal and Moghul in the world history. Moghul empire is based in Delhi and spread through South Asia. Article is about Mongolians who were originated from Mongolian tribes and created the largest contiguous land empire in history.

      Delete
  2. Our historian as usual.... Great piece man!!

    ReplyDelete

Post a Comment

Most Popular Diary Entree

|| අප්‍රේල් 21 - 365 ට පෙරවදනක් ||

|| A Badly Miss - Not for One, but for All ||