අපෙ අම්මා...
අපෙ අම්මා...
අපේ අම්මා ගැන ලියන්නට මට කලක පටන් ආසාවක් තිබුණි. නමුත් එයට හරිහමන් වෙලාවක් වෙන්කරන්නට බැරුව කාලයක් ඉන්නට වීම ම හිතට පොඩි කනස්සල්ලක් ගෙනදෙන්නට විය.
කෙසේ හෝ මේ ලැබුණු විවේකයේ එයට මෙසේ මුල පුරන්නට මට සිතුණි. ලෝකය පුරා පැතිරෙන මේ වසංගත තත්වයත් සමග මිනිස්සුන්ට තමන් ගැනත් තමන්ගේ සමීපතමයන් ගැනත් දෙවරක් තුන්වරක් නොව සියවරක් හිතන්නට සොබාදහම අපට ඉඩකඩ ලබාදී බලාසිටී. එහෙනම් මේ මෙයට හොඳම වෙලාව යැයි මට සිතුණි. ඉතිං මෙලෙස දිගහැරෙන්නේ අපේ අම්මාගේ කතාවයි.
අපේ ගමේ බොහෝ උදවිය අම්මාට අමතන්නේ ඉස්කෝලෙ හාමිනේ කියා ය. එයට හේතුව අම්මා ගුරුවරියක් වීම ම නොවන බව මට වෙලාවකට සිතේ. ඊට වඩා ලෙන්ගතු කමක් එහි ඇති බව සමහර වෙලාවට මට වැටහී ඇත. නැත්නම් අපේ ගමේ ඉස්කෝලෙ හාමිනේලා තව හතර පස් දෙනෙක්ම සිටිය යුතු ය. අපේ ගෙදර වත්තේ කෙසෙල් කැනක් එහෙම හැදුණොත් අහල පහල හැම ගෙදරකට ම කෙසෙල් ඇවරිය ගානේ බෙදා දීම අම්මාගේ සිරිත ය. අන්තිමට ගෙදරට ඉතිරිවන දෙයක් නැති තරම් ය. හැම දෙයක් ම ඒ වගේ ය. කලාතුරකින් නිකං ඉන්න වෙලාවක් ආවොත් ගම වටේ ටිකක් ඇවිද ඇවිද ගමේ ගෙදරකට ගොඩ වී ආගිය තොරතුරු කතා කරන්නට අපේ අම්මා හරි කැමති ය. කතාවට වැටුණොත් ඉන් ගලවා ගන්නට දුෂ්කර බව තාත්තාත් නිතරම කියයි. සමහර දවසට කුස්සියේ මාලු හට්ටිය ලිපේ තියා ගින්දර දමා වෙන මොකක් හරි වත්තෙ පිටියෙ වැඩක් කරන්නට යන අම්මා කොහොමහරි හට්ටිය ලිපෙන් බාන වෙලාවට ගානට ලිප ළඟට ස්ථානගත වෙයි. දවසේ පැය විසිහතරෙන් විනාඩියක්වත් අපතේ නොයවන්නට ඇය ඕනෑකමින් ම වග බලාගනී. ඒ තරමට ම ඇය හරි කඩිසර ය. කොහොමත් අම්මලා එහෙම ය. එය ඔබේ අම්මාටත් අපේ අම්මාටත් පොදු දෙයකි.
මං කලින් කිව්වා වගේ අපේ අම්මා ගුරුවරියකි. ඇගේ විෂය කෘෂිකර්මයයි. කොහේ හරි තැනක ගොවියෙකු ගැන, කෘෂිකර්මාන්තය ගැන හෝ පරිසරය ගැන හෝ කතාකරනවා ඇසුණොත් අම්මා එතනට නොවරදවාම කන යොමා සිටින බව මා දන්නා කරුණකි. ඇයට ඒවා ඒ තරම් සංවේදී වචන ය. අම්මා තවම සේවය කරන්නේ මං ගියපු පාසලේම ය. දැන් ටික කාලෙකට කලින් දවසක මොකක් හරි වුවමනාවකට මං ඉස්කෝලෙට ගිය වෙලාවක අම්මා පොඩි එවුන් ටිකක් එක්ක ගෙවත්තේ ගජරාමෙට වැඩ ය. අම්මාගේ සාරි පොටේ එල්ලුණු සමහර හිච්චි කොල්ලන් "අනේ ටීච අපිටත් දෙන්න අපිටත් දෙන්න" කියමින් උදැල්ලට මුල්ලුවට පොරකමින් සිටි බව මට මතකය. සමහර දවසට සමහර පුංචි එවුන් ඔවුන්ගේ ගෙවල්වල අම්මල තාත්තලත් එක්කම අපේ ගෙදර එන්නේ කිරි පැණි, බිස්කට්, සීනි පාර්සල් බරටම පොදි බැඳන් ඔවුන්ගේ ගුරුතුමියව බලන්නට ය. අම්මාට එහෙම ලැබුණු තෑගි අතර සාරි දෙක තුනකුත් තිබුණා මට මතක ය.
පොඩි එවුන් අම්මාට හරි ආදරේ ය. අම්මත් ඒ වගේම උන්ට හරි ආදරේ බව මං හොඳින් දන්නා දෙයකි. වරක් ගුරු දිනයකදී පොඩි එකෙක් ඇවිදින් බුදු පිළිමයක් අම්මාට තෑගි දී තිබුන බවත් ඇය ඒ ගැන ගෙදර ඇවිත් වරුවක් විතර කියව කියව හිටි බවත් මට තාමත් මතක ය. ඒ නිසා ම පොඩි එවුන් එක්කම නිවාඩු දවසටත් ඉස්කෝලෙ පැත්තට ගිහින් අඩුවක් පාඩුවක් තිබේ දැයි සොයා බැලීම අම්මාගේ සිරිත ය. ඉරිදාට අම්මා දහම් පාසලේ උගන්වන්නට යයි. කිසිම මුදලක් ලබා නොගෙන ම අම්මා ස්වකැමැත්තෙන් ම ඊට කැපවෙයි. සමහර දවසට ඉස්කෝලේ සාමාන්‍ය පෙල පංතිවල ඉන්න ළමයි ගෙන්වා ඉස්කෝලේ නිමා කරන්නට බැරි වුණු විෂය නිර්දේශය කිසිම මුදලක් නොගෙන ම උගන්වා අවසන් කරයි. කොල්ලන්ද කැමැත්තෙන් ම දුර කතර ගෙවාගෙන අපේ ගෙදරට ගාටයි. ඉගෙනීම කෙසේ වෙතත් කොල්ලන් එසේ බෑ නොකියා එන්නේ අම්මාට කරන ගරු කිරීමක් ලෙස බව මට වෙලාවකට සිතේ. වරක් උසස්පෙලට උගන්නපු , අහිංසක දුප්පත් පොඩි එකෙක්ට නූලෙන් කැම්පස් යන්නට බැරිබව දැනගත් අම්මා හරියට දුක්වුනා මට මතක ය. සල්ලිත් නොගෙන ම දිවා රෑ නොබලා අම්මා එසේ කැපවුනේ කැම්පස් එකට යාම ඔහුගේ අනිවාර්ය සිහිනයක් බව දැනගෙනම ය. ඒ දේවල් ගැන කල්පනා කර බලන විට මට සිතෙන්නේ ගුරු භූමිකාව බල්ලට යන කාලයක අපෙ අම්මා එයට ගෞරවාන්විත අගයක් ලබා දෙන බව ය. අම්මා විතරක් නොවේ එහෙම ගුරුවරු අදටත් ලංකාවේ හතර කොනේම සිටින බව මම දන්නා දෙයකි. නොරහසකි. තුට්ටු දෙකේ පඩියකට අහිංසක ළමයින් වෙනුවෙන් කැපවෙන එහෙම ගුරුවරු ඇත්තට ම දෙවියන්ට සම ය.
අපෙ අම්මා පවුලේ වැඩිමලා ය. ඒ නිසාම ඒ කාලේ සිට ම පවුලේ වගකීම කරට ගෙන වැඩ කරන්නට ඇය පුරුදුව ඉන්නට ඇති බව මට සිතේ. ඇයගේ වැඩ හරි පිළිවෙළ ය. "අම්මව මෙහාට කැන්දගෙන ආවෙ නැත්නම් තාම අර හද්ද පිටිසර ගමේ අත් ට්‍රැක්ටරෙන් බඩ ගගා තමයි ඉන්නෙ. කාරෙකක එහෙම යනව බොරු. " කියමින් තාත්තා සමහර වෙලාවට අපිත් එක්ක අම්මාට කොලොප්පං කරයි. එයට අපුරුවට ප්‍රති උත්තර බඳින අපෙ අම්මා තාත්තට කියන්නේ " අනේ ඔහෙගෙ කාර් !!! මං එනකං මේ හැම එකක්ම වල් වැදිල වගේ තිබුනෙ. මං ඇවිල්ලා කල එළියක් කරල ගත්තෙ නැත්නම් තාම එහෙමයි." කියා ය. තාත්තා එතන ම සමතලා ය. කොන්ඩෙ රැවුල ගනට වවාගනිමින් හැට්ට වගේ ෂර්ට් ද සායවල් වගේ කලිසම් ද ඇඳ ඇඳ සිටි තාත්තා ඇත්තට ම පිළිවෙළක් වී ඇත්තේ අම්මා කැන්දාගෙන ආවයින් පසුව බව තාත්තාගේ ඉස්සර පොටෝ කෑලි දකින විට මට සිතේ.
අම්මාගේ මං දකින තව දෙයක් වන්නේ ඇය දේශපාලනයට හරි සංවේදී ය. දේශපාලනය ගැන සිදුවන ගොඩක් දේවල් ගැන ඇයට හොඳ කියවීමක් ඇත. ඒවාට අම්මාට ඉස්සර අත්විඳින්නට වුණු අත්දැකීම්ද හේතු වුණ බව මට සිතේ. ඒ නිසා මාත් ගොඩක් දේවල් ගැන දැනුවත් වන්නේ අම්මාගෙන් අසා දැනගෙන ය. 88/89 කාලයේදී සීයා ඝාතනය වීම, ඒත් එක්ක ම මුලු පවුලෙ ම බර ආත්තම්මාට සහ අපෙ අම්මාට දරාගන්නට සිදුවීම සහ ඒ දවස්වල ඒ පැතිවල තිබුණු පීඩනකාරී වාතාවරණය එසේ දේශපාලනය ගැන සංවේදී වන්නට හේතුවුණු ආසන්නම කාරණා බව මට වෙලාවකට සිතේ. මේ ළඟකදී තිරගත වුණු "ගින්නෙන් උපන් සීතල" චිත්‍රපටය බලන්නට යන්නට මම අම්මාට අඬගැසූ විට ඇය ඊට එතරම් කැමැත්තක් නොදැක්වී ය. ඇයට ඒ අතීතය නීරස ය. ඒ දේශපාලනයත් සමග අම්මාට වෛරයක් නැතත් ඒ වගේ අනාගතයක් නැවත උදාවන්නට ඕනෑ නැති බව අම්මා නිතර කියයි. ඒ හැම එකකට ම හිටපු රජයන් වගකිවයුතු බව අම්මා හොඳින් දනී. "ජේ. ආර්. තමයි මේ ඔක්කොටම මුල . ඔක්කොම අවුලවල සද්ද නැතුව බලන් හිටියා." කියා සමහර වෙලාවට අම්මා කියයි. අපෙ අම්මා ජේ. වී.පී. එකට ඇර ඔය හැම පක්ෂෙකට ම චන්දය දී ඇත. 2005 දී ගමේ මනුස්සයානේ කියල මහින්දට චන්දය දුන් අම්මා ආපහු ජීවිතේට මහින්දට නම් ජන්දය නොදෙන බව මං හොඳින් දනී. රනිල් ඇතුළු රැලට ද එසේම ය. ඔවුන්ගේ ගොංකම් ගැනද අම්මා නිතර මතක් කරයි. එහෙමයි කියල අම්මා ජීවිතේට ජේ. වී. පී. එකට චන්දය දෙන්නෙත් නැති බව පැහැදිලි ය. ඒ දවස්වල වුණ සිද්ධි ගැන අම්මා අපිත් එක්ක මතක් කරන විට එහෙම කරන එක ඇත්තටම සාධාරණ බව මට සිතේ. 88/89 කාලයේ හැම ගෙදරකින් ම පෙලපාලි වලට කැඳවන විට අම්මලාගේ ගෙදරින් ඉදිරිපත්වන්නට සිදුවන්නේ අම්මාට ය. මොකද අම්මාට පසුව ඉන්නේ නංගී සහ මල්ලිලා දෙන්නා ය. එතකොට සීයාත් ජීවතුන් අතර නැත. ඒ කාලේ තිබුණු තත්වෙත් එක්ක මල්ලිලා දෙන්නා ඕවට යැවීම අනතුරුදායක ය. ඒ නිසා අම්මා ඒ වයසෙම තව කවුරුහරි යෙහෙළියක් සමග යන්නට ඉදිරිපත් වෙයි. වරක් එහෙම ගියපු පෙළපාලියකට තංගල්ල හරියේදී හමුදාවෙන් වෙඩි තියපු හැටිත් කොල්ලන් එක එකා ජීප්වලට දාගත් හැටිත් අම්මා මතක් කරයි. හරිහමන් පාරකුත් නැතුව වෙල් මැදින් පැන පැන හිස හැරුණු අතේ දුවගෙන යන්තම් බේරී එදා ගෙදර ආපු හැටි අම්මා අපිත් එක්ක මතක් කරයි. එහෙම ඕන තරම් අත්දැකීම් අම්මාට ඇත. කැම්පස් ඉන්න දවස්වල උතුරු කොළඹ වෛද්‍ය පීඨය වෙනුවෙන් පේරාදෙණියේ ගලහ හංදියේ ඉඳන් නුවරට පා ගමන් ගිහින් කඳුලු ගෑස් කෑ හැටිද අම්මා මාත් එක්ක කියා ඇත. ඉස්සර අපේ අම්මාට කැම්පස් එන්නට බස් එක තියෙන්නේ යක්කු ගස් නගින වෙලාවට ය. රෑ දොළහට විතර රන්නෙන් බස් එකට නගින අම්මා බයක් සැකක් නැතුවම පැය අටක් දහයක් ගෙවා තනියමම කැම්පස් එකට යන්නට තරම් නිර්භීත වීම ම මට පුදුමයකි. ඉස්සර අද වගේ පැය බාගෙන් බගෙට සොයාබලන්නට ජංගම දුරකථන නැත. කාපට් පාරවල්, ඒ.සී බස් එහෙම නැත. පරණ C.T.B. කටුවකින් පැය ගානක් ගාට ගාට කැම්පස් එකට ගිහින් එහෙන් දුරකථන ඇමතුමක් දෙනකන් මොනවයින් මොනවා වුනාද යන්න ගෙදර මිනිස්සු නොදනී. මොනවාහරි කරදරයක් වුනොත් ලේසියෙන් හොයනවා බොරු ය. ඉතිං එහෙම බලන කොට අපෙ අම්මා ඒ දවස්වල කෙල්ලෙක් විදියට ලබන්නට හැකි හැම අත්දැකීමක්ම පාහේ ලබා ඇත.
අම්මා අපට නිතර ම කියන දෙයක් ඇත.
"අපි නම් තව ටික දවසකින් මැරිල යාවි. පුතාල කොහොමහරි ඉන්නෙපැයි මේ රටේ. ඔය දේශපාලනය කරන රටේ මහ උන් ඇවිල්ලා කරල දෙන එකක් යැ. තමන් විතරයි තමන්ට ඉන්නේ. ඒ නිසා පුළුවන් දෙයක් මේකෙන් අරගෙන මේකට දීලා බැරි නම් රට හරි ගිහින් හොඳට ජීවත් වෙන්න." අම්මා කියන එක ඇත්ත ය. අන්තිමට තමන්ට ඉන්නේ තමන් විතරම ය. ඉතිරි වන්නේ තමන් අමාරුවෙන් ඉගෙනගත්තු දෙයක් හෝ අවංකව උපයාගත් දෙයක් පමණ ය. මං අපේ අම්මාගෙන් ඉගෙන ගත් බොහෝ දේවල් ඇත. මොන කරදර ආවත් ඒ හැම එකක්ම දරාගෙන නොවැටී ඉන්නට ඉගෙන ගත්තේ අපෙ අම්මාගෙනි. ප්‍රතිඵලය හොඳ වුණත් නරක වුණත් හැම වෙලේ ම අවංක වන්නට මට කියාදුන්නේ අපෙ අම්මා ය. හැම එකෙක් එක්කම හදවතින් හිනාවෙලා කතාකරන්නට තරම් නිහතමානී වන්නට ඉගෙන ගත්තේ අපේ අම්මාගෙනි. පුළුවන් තරම් සරල වන්නට ඉගෙනගත්තේ අපේ අම්මාගෙනි. ඕන ම කුණු කතාවක් , අපහසයක් ඇහුනෙ නැති ගානට අහන් ඉඳල ඒ හැම දෙයක් දෙසම උපේක්ෂාවෙන් බලන්නට ඉගෙන ගත්තේ අපේ අම්මාගෙනි. කෙටියෙන් ම කිව්වොත් මං මනුස්සයෙක් වන්නට ඉගෙන ගත්තේ අපෙ අම්මාගෙනි. ඉස්සර මං හිතන් හිටියේ අම්මා වගේ කෙල්ලෙකු සොයාගැනීමට ය. නමුත් කාලය විසින් මට තේරුම් කර දුන්නේ අම්මා වගේ කෙල්ලන් සොයා වැඩක් නැති බවයි. එහෙම බලාපොරොත්තු වීමත් එක අතකට අසාධාරණ බව මට දැන් සිතේ. හැමෝට ම ඉන්නේ එක අම්මෙකි. ඇත්තට ම එය එහෙමම ය. කොහොමත් අම්මලා සහ පුත්තු අතර අමුතු බැඳීමක් ඇත. එය ඔබත් මාත් ඇතුළු මේ ලෝකේ හැම මනුස්සයෙකුට ම පොදු දෙයක් බව මට සිතේ. ඉතිං අපෙ අම්මාටත් ඔබේ අම්මාටත් උපහාරයක් ම වන්නට යැයි සිතා අම්මලා ගැන කියන රඹුකන සිද්ධාර්ථ හිමියන් ලියපු මේ සංවේදී පද පේලියෙන් ම මම මෙය අවසන් කරමි.
දරුවන් අනේ රජවෙන තුරු මග බැලුවා
දුක සැප බලන්නට නාවත් සෙත් පැතුවා
දරු සෙනෙහසින් මුහුදත් කඳුළක් කරවා
බුදුවෙන පුතුන් හට ඇය ඉනිමං තැනුවා..
බුදුවෙන පුතුන් හට ඇය ඉනිමං තැනුවා..
- කිසල් පින්සර ඈපා
(ඉංජිනේරු පීඨය)
Superb article bro.... That song written by Siddhartha thero is even more heart touching!! <3 (y)
ReplyDeleteThank you bro ❤️
Deleteහදවතට දැනෙන post 1k❤
ReplyDeleteThank you ❤️
DeleteThis comment has been removed by the author.
Delete