|| පරණ අවුරුද්ද ||

සිංහල - හින්දු අවුරුදු ක්‍රමයට අනුව 2019 වසරේ ගෙවෙන අන්තිම දිනයේ ලියමි.
..........
2019 සිංහල - හින්දු අවුරුද්ද ඇරඹෙන්නේ ද ගෙවෙන්නේ ද ව්‍යයසනයකිනි. ISIS ත්‍රස්තයන්ගේ ම්ලේච්ඡ බෝම්බ ප්‍රහාරයත් Wuhan නගරයෙන් ඇරඹුණු ම්ලේච්ඡ වයිරස ප්‍රහාරයත් දෙකෙළවර තබා ගනිමින්, අපි මේ වසර ගෙවා නිම කරමින් සිටිමු. ISIS ප්‍රහාරය නිසා ආරක්ෂාව මෙන්ම සමාජ-ආර්ථික අතින් ද මාස ගණනකින් රට පස්සට ගියේ ය. අවුරුදු කෑවද නොකෑවා මෙන් විය. නැවත ඇරඹුණු රට විදූෂා ලක්ෂානි ගේ තුන්පිම්මේ ලෝකඩ පදක්කම සහ ලෝක කුසලානයේ තියුණු බව අතරින් ගමන් ගති. ඒ අතරතුර ආ අනධ්‍යයන සේවක වර්ජනය නිසා විශ්වවිද්‍යාල පද්ධතිය නැවතත් මාසයකින් පස්සට ගියේ ය. 2009 න් පසු ලාහෝරයට full tour එකක් සඳහා ප්‍රථමයෙන්ම ගොස්, 3-0 T20I ජයක් ලබන්නට ද ඒ අතරතුර රටට හැකිවිය. නොවැම්බරයේ සිදු වූ ජනපති මාරුවත්, ඉන් අනතුරුව අපේක්ෂා කළ වෙනසත් නිසා පාර්ලිමේන්තුවක් විසුරුවන තැනට රට පත් වූවත්, ජයග්‍රාහී ක්‍රීඩා මාවතකට යළි රට පැමිණෙමින් තිබූ අවධියක Wuhan වයිරස ප්‍රහාරය පැමිණියේ ය. දැනට හරියටම රටේ සියළු කටයුතු පස්සට ගොස් මාසයකි. වසර ආරම්භයේ පස්සට ගිය රට වසර අවසානයේ ද පස්සට ගොස් ඇත. සත්තකින්ම මේ ගෙවී යන්නේ අමතක කළ යුතු, එහෙත් මතක තබා ගත යුතුම වසරක අවසන් හෝරා කිහිපය යි.
..........
හෙට(13) රාත්‍රී 8.23 ට 2020 නව සිහල - දමිළ වසර උදා වනු ඇත. එහෙත් ඒ වෙනදා මෙන් නොව. මෙවර කොහා නොනවත්වා හඬන්නේ නැත. එරබදු මල් ඔහේ පිපෙනු ඇත. මහින්ද කුමාර දළුපොත මහතාගේ ජනශ්‍රැති විචාර නැත. රන්වල බලකායේ "කිකිළි" නොඑනු ඇත. බැද්ද පුරා පිපුණු ඉද්ද පනා මල් ගැන අසන්නට ලැබෙන්නේ නැත. රබන් හඬට බමරු නටන ගම්මැද්දේ ලස්සන බලන්නට ලැබෙන්නේ නැත. බට ලී පිඹින කොවුලාවත්, බෙර ගසන කොට්ටෝරුවාවත්, කයිතාලම ගසන ලේනාවත් නැටුම් නටන අවිච්චියාවත් හමුවන්නට වන්නේ නැත. ජනපති මැදුරේ කිරි ඉතිරවීම් හෝ ගනු දෙනු කිරීම් නැත. නෙස්ටමෝල්ට් සූර්ය මංගල්‍ය නැත. තරුත් එක්ක අවුරුදු නැත. ඩිජිටල් අවුරුදු කුමරෙක් හෝ කුමරියක් පමණක් බිහිවනු ඇත. ගමේ අවුරුදු උත්සව නැත. මේස පුරවන්නට කැවිලි නොසෑදෙනු ඇත. සංකේතාත්මක කිරිබතක් සහ කැවිල්ලක් දෙකක් පමණක් බොහෝ නිවෙස් වල සෑදෙනු ඇත. නෑගම් යාම් නැත. අවුරුද්දට ගමට යාම් නැත. නිවසේ තුන් හතර දෙනා පමණක් එක්වී අවුරුදු සිරිත් පුරනු ඇත. ඇතැම් නිවෙස් වල ළිප මොලවන්නට ගෘහණිය නොසිටිනු ඇත. අනුභවය අරඹන්නට පියා නොසිටිනු ඇත. තමන්ටත් එක්කම අනික් අයවලුන්ට නිවසේ සිට ළිප මොලවා අනුභව කරන්නට කියා, ඔවුන් රට රැකගන්නට ඉදිරිපත් වී සිටිනු ඇත. වැඩ අල්ලන්නට ළමුන්ට පාසල් ගෙදර වැඩ නැත. වෙනදාට ලැබුණු තෑගි බෝග මෙවර නොලැබෙනු ඇත. එහෙත් ඒ සියල්ලටම වඩා මිනිස්කම හා අපේකම රැකීමේ වැදගත්කම ගැන මතක හිටින පාඩමක් කියා දෙමින්, 2020 වසර සුභවාදී බලාපොරොත්තුවක් සහිතව ආරක්ෂාකාරීව අරඹන්නට, අපට මේ ගෙවෙන අවුරුද්ද උදව් කරනු ඇත.
...........
මෙවර අළුත් අවුරුද්දේ ආරම්භයත් 2019 වසරේ අළුත් අවුරුදු ඇරඹුමට සමාන වුව ද, එළඹෙන වසර ගෙවෙන දිනයේ දී මීට වඩා සුභවාදීව ඒ වසර දෙස හැරී බලන්නට අපට හැකිවන්නේ නම්, අප ලබන්නා වූ ඉහළම ජයග්‍රහණය එය වනු ඇත. උගත් පාඩම් සිත්හි දරාගනිමින්, රටක් ලෙස හා ජාතියක් ලෙස අපට ලොව අහිමිව ගිය දෑ යළි ගොඩනඟා ගන්නට සියල්ලෝම එකාවන්ව අදිටන් කර ගනිමු. එසේ නම්, පරණ අවුරුද්දෙන් මෙසේ සමුගන්නා මොහොතේ සැමට ප්‍රාර්ථනය, ලබන්නා වූ 2020 සිංහල - දෙමළ අළුත් අවුරුද්ද, හද තුටින් බර වන, පැතු පැතුම් ඉටු වන, සෞඛ්‍යය හා ආරක්ෂාව සුරැකෙන, සාමය සතුට හා සෞභාග්‍යය සපිරි, ජයග්‍රාහී අළුත් අවුරුද්දක් වේවා! යන්න යි.

- යශෝද් රාජසිංහ -
වෛද්‍ය පීඨය

Comments

Most Popular Diary Entree

|| අප්‍රේල් 21 - 365 ට පෙරවදනක් ||

|| A Badly Miss - Not for One, but for All ||